PSTA සහ OCB සම්මත වුවහොත් ආණ්ඩුවට එරෙහිව කාටවත් පාරට බහින්න බැරිවෙයි – සුමන්තිරන්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්මත කළහොත් ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහි කිසිවෙකුටත් පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ (නොවැම්බර් 16) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ද PSTA පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බවට ප්‍රකාශ කර නොමැති බව පෙන්වා දුන් සුමන්තිරන් මහතා, මේ වන විට එය වළක්වා ගැනීමට ඉතිරිව ඇති එකම මාර්ගය ශක්තිමත් විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැගීම බව ද පවසා තිබේ.

ඒ සඳහා ඉතිරිව ඇත්තේ කෙටි කාලයක් බවත්, මේ දිනවල අයවැය සැසිවාරය පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවත් ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ලබන ජනවාරි මාසයේදී මෙම පනත් කෙටුම්පත් දෙකම කෙසේ හෝ නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පවසා තිබේ. එබැවින් ඉදිරි මාසයක පමණ කාලය තුළ මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව රට තුළ දැඩි විරෝධතාවක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව ද සුමන්තිරන් මහතා අවධාරණය කර ඇත.

2022 දෙසැම්බර් 8 වැනිදා වත්මන් ජනාධිපතිවරයා තමන්ට ජාතික ජන බලවේගයේ (NPP) සම්මන්ත්‍රණයකට ආරාධනා කර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මුළුමනින්ම අහෝසි කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව කතාවක් කරන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු සිහිපත් කර තිබේ.

මීට පෙර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත (CTA) සහ ඉන් අනතුරුව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) ඉදිරිපත් වූ අවස්ථාවලදී ද තම ස්ථාවරය වූයේ PTA පනතට ආදේශක නීතියක් අවශ්‍ය නොවන බවත්, එම පනත මුළුමනින්ම අහෝසි කළ යුතු බවත් යැයි ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, එවකට පැවති ආණ්ඩුව සමඟ එම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලට තම පක්ෂය සහභාගි වූ බව ද සුමන්තිරන් මහතා පවසා තිබේ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගය (NPP) එම සාකච්ඡාවලට සහභාගි නොවූ බවත්, ඔවුන්ගේ ස්ථාවරය වූයේ PTA පනත මුළුමනින්ම අහෝසි කළ යුතු බවත්, ඒ සඳහා ආදේශක පනතක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පවා ඔවුන් සූදානම් නොවූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Author

Leave a Reply

Related Posts