අනුරාධපුර වෛද්‍යවරිය දුෂණය කළ බවට චෝදනා ලැබූ සැකකරුගේ ඇප අවලංගු කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිය නිල නිවස තුළදී බරපතළ ලිංගික අපරාධයක් සිදුකළ බවට චෝදනා ලබා සිටින හිටපු යුද්ධ හමුදා සෙබළාට මීට පෙර නියම කර තිබූ ඇප අවලංගු කිරීමට අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ, අදාළ නඩුව අනුරාධපුර මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක විසිනි.

විත්තිකරු මහාධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටියදී තවත් සමාන අපරාධයක් සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පැමිණිල්ල අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, පෙර ලබාදුන් ඇප කොන්දේසි කඩ කර ඇති බැවින් ඇප අවලංගු කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය ලබා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුට දැනට පවතින අධිචෝදනා දෙකට අමතරව අස්වාභාවික ලිංගික හිංසනය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 364(2)(අ) වගන්තිය යටතේ ද තවත් අධිචෝදනාවක් ගොනු කර ඇත.

නඩුවට අදාළව ජංගම දුරකතනයක්, පිහියක්, ඇඳුම් කිහිපයක්, ඇඳ ඇතිරිල්ලක්, කෙස් සහ රුධිර සාම්පල, අධිකරණ වෛද්‍ය වාර්තාවක්, රජයේ රස පරීක්ෂක වාර්තා සහ ජීන්ටෙක් (Genetech) වාර්තා ඇතුළු සාක්ෂි භාණ්ඩ රැසක් නම් කර තිබේ. ඊට අමතරව හඳුනාගැනීමේ පෙරට්ටුවක වාර්තාවක් සහ දේපළ කුවිතාන්සි කිහිපයක් ද නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇත.

එමෙන්ම, විත්තිකරු සන්තකයේ තිබියදී ගල්නෑව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් නවීන ස්මාර්ට් ජංගම දුරකතනයට අදාළ රස පරීක්ෂක වාර්තාව සහ වින්දිත වෛද්‍යවරියගේ ජංගම දුරකතනයට අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නඩුවේ සාක්ෂිකරුවන් 42 දෙනෙකු නම් කර ඇති අතර, ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ සිවිල් පුද්ගලයෝ ද වෙති.

නඩුවේ සිව්වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි විශේෂඥ වෛද්‍යවරියක ද එදින පැයකට අධික කාලයක් සාක්ෂි ලබා දී තිබේ. වැඩිදුර විභාගය මේ මස 30 වැනිදා දක්වා කල් තැබූ අධිකරණය, වින්දිත වෛද්‍යවරියට අදාළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග මහතාට එදින සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

Author

Leave a Reply

Related Posts