පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 41 දෙනෙකුට ඊයේ (නොවැම්බර් 16) හම්බන්තොට මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා පත්‍ර භාරදී තිබේ.
2017 ඔක්තෝබර් 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට පිවිසෙන මාර්ගය අවහිර කරමින් සහ හම්බන්තොට ඉන්දීය තානාපති කාර්යාලය හා එහි නිල නිවස වෙත ප්‍රවේශය අවහිර කරමින් පැවති විරෝධතාවට අදාළව, අධිකරණ නියෝග කඩ කිරීම, පොදු හා පෞද්ගලික දේපළවලට හානි කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාවලට අදාලව මෙම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකර ඇත.
කෙසේ වෙතත්, මෙම නඩුවේ 35 වැනි විත්තිකරු වන නාමල් රාජපක්ෂ වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා කොළඹ මහාධිකරණය වෙත යාමට නියමිතව තිබූ බැවින් ඔහු හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, ප්‍රසන්න රණවීර, අජිත් ප්‍රසන්න සහ සම්පත් අතුකෝරල ඇතුළු සෙසු විත්තිකරුවන්ගෙන් දෙදෙනෙකු හැර අනෙක් පිරිස අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව විත්තිකරුවන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.
එමෙන්ම සියලුම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති විනිසුරුවරයා නඩුව යළි 2027 ජනවාරි 14 වැනිදා කැඳවීමට නියෝග කර ඇත.
