ක්‍රිප්ටෝ නියාමනයට නව අධිකාරියක්

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ඇතුළු ඩිජිටල් වත්කම් නිල නියාමනයට සහ අධීක්ෂණයට ලක් කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීමටත්, ඒ සඳහා වෙනම නියාමන අධිකාරියක් පිහිටුවීමටත් රජය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇති බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ඊයේ (නොවැම්බර් 16) පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, එම සාකච්ඡාවලින් අනතුරුව යෝජිත පනත් කෙටුම්පතේ පළමු කෙටුම්පත සකස් කර තිබේ. එය මේ වන විට අදාළ පාර්ශ්වකරුවන්ගේ නිරීක්ෂණයට ලක්වෙමින් පවතින බව ද ඔහු පවසා ඇත.

එම කෙටුම්පත මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ මෙරට මූල්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු වන පරිදි නියාමන පද්ධතිය ගොඩනැගීම සඳහා අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි ජාත්‍යන්තර අවශ්‍යතාවලට අනුකූලව, ඩිජිටල් වත්කම් භාවිතයේදී ආරක්ෂණ විධිවිධාන සැලසීම රජයේ අරමුණ බව ද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාවලියේ පළමු අදියරේදී අතථ්‍ය වත්කම් (Virtual Assets) ගෙවීම් මෙවලමක් (Payment Instrument) ලෙස නොව, ආයෝජන වත්කම් කාණ්ඩයක් (Asset Class) ලෙස පමණක් හඳුනා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව, පළමු අදියර යටතේ ශ්‍රී ලංකාව තුළ එදිනෙදා ගෙවීම් හෝ ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිත කිරීමට අවසර හිමි නොවන අතර, ඒවා ආයෝජන වත්කම් ලෙස පමණක් සැලකෙනු ඇත.

එමෙන්ම, අතථ්‍ය වත්කම් සම්බන්ධයෙන් කටයුතු කරන සේවා සපයන්නන් ද නියාමනයට සහ අධීක්ෂණයට ලක් කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ යෝජිත නියාමන මණ්ඩලය ලබන වසරේ තෙවැනි කාර්තුව වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

Author

Leave a Reply

Related Posts