රාජාංගනයේ සද්ධාරතන ගැන කරුණු දක්වන්න පොලිස් ප්‍රධානියෙකුට නියෝගයක්

රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න (නොවැම්බර් 17) නියෝග කර තිබේ.

රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි හැර සෙසු භික්ෂූන් වහන්සේ සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

එහිදී නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු පුද්ගලයන් 25කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබුණද පොලිසිය එසේ කටයුතු කර නොමැති බවයි.

එමෙන්ම, ගැටුම වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබියදීත් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැති බවට ද නීතිඥවරුන් පෙන්වා දී තිබේ.

අදාළ සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ගැටුම මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිළිබඳව ද සැකයක් මතුවන බවට නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

Author

Leave a Reply

Related Posts