යාපනේ වෙසක් කූඩු කඩලා! – බොරු පතුරුවන දිලිත් ජයවීරලා සහ උන්ට අහුවෙන සෝමෙලා!

පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ පරිශ්‍රයේ ඉදි කළ වෙසක් කූඩුවකට කිසියම් පිරිසක් විසින් හානි කිරීමේ සිදුවීමක් වාර්තා විය. මෙය හුදෙක් විශ්වවිද්‍යාල භූමියක් තුළ වූ කඩාකප්පල්කාරී ක්‍රියාවකට වඩා එහා ගිය, දකුණේ දේශපාලන න්‍යායපත්‍රයක ගොදුරක් බවට මේ වන විට පත්වෙමින් තිබේ.

විශේෂයෙන්ම, දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් ‘සර්වජන බලය’ පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් විසින් 2026 ජූනි 01 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා නිර්මාණය කිරීමට උත්සාහ කරන ව්‍යාජ ආඛ්‍යානය අප ඉතා ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.

මෙම නිවේදනය හරහා ඉතා සූක්ෂම ලෙස මවාපෑමට උත්සාහ කරන්නේ, යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ සිසුන් විසින් නිර්මාණය කළ වෙසක් කූඩුවක් අන්‍යාගමික/ජාතික (දෙමළ) සිසුන් විසින් විනාශ කර ඇති බවත්, උතුරේ බෞද්ධ කටයුතුවලට ඉඩක් නොමැති බවත්ය. එය හුදෙක් දකුණේ සිංහල සහ මුස්ලිම් සිසුන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් ලෙස පෙන්වීමට ඔවුන් උත්සාහ දරයි.

ඊටත් වඩා බරපතල ඛේදවාචකය වන්නේ අරුන් සිද්ධාර්ථන්ලාගේ බොරුවලට රැවටී ලක්ෂ ගණන් ජනතාව නරඹන ආකාරයට වීඩියෝ කරමින් දකුණේ සිංහල ජාතිවාදය පතුරුවන සෝමෙලා වැනි අවබෝධය අඩු පුද්ගලයන් සමාජය ගිනිතැබීමය.

සෝමේ මේ ගැන කළ වීඩියෝව පටන් ගන්නේ මෙලෙසය.

‘1983 එල්ටිටීඊ සංවිධානය හමුදාවේ කොල්ලෝ 13ක් යාපනයේදී මරනවා. ඒ මිනී පෙට්ටි ටික උතුරේ ඉදන් දකුණට එද්දී එක පත්පත කාගෙන හිටපු දකුණේ සිංහල දෙමළ මිනිස්සු වෛරක්කාරයෝ බවට පත් වුණා. අන්තිමේ මෙහේ තිබුණු දෙමළ මිනිස්සුන්ගෙ ඉඩම් කඩම් ගිනිබත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. 83 අදුරු කළු ජූලිය ඒ විදියට තමයි පටන් ගත්තේ. නැවත මගේ රටේ එවැනි අදුරු සිදුවීමක් ඇතිවෙන්න එපා.‘

යනුවෙන් ඔහු කළු ජූලියේ පසුබිම ගැන ඉතා සුළු අවබෝධයක් ඇතිව වැරදි අර්ථකතනයක් සපයයි. කලු ජූලිය පටන් ගන්නේ එල්ටීටීඊය හමුදා සෙබලුන් 13ක් මැරීමෙන් නොවේ. කළු ජූලිය පටන් ගත්තේ දකුණේ ජනතාව ඇවිස්සුණු නිසාත් නොවේ. කළු ජූලිය උතුරේත්- දකුණේත් සිංහල දෙමළ ජනතාව නොව ජේආර් ජයවර්ධන ආණ්ඩුව විසින් සැලසුම් සහගතව ඇති කරන ලද්දකි. එය මාස ගාණක් තිස්සේ සැලසුම් කරන ලද්දකි. සෙබළුන් 13 දෙනෙකු මැරීම කල් තියා සැලසුම් කර තිබුණු ජාතිවාදි ප්‍රහාර මාලාවක් ආරම්භ කිරීමට සොය සොයා සිටි හේතුව පමණි. ප්‍රහාර ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයේ මැරයන් විසිනි. සෝමේ එය නොදනි. ඔහු හුදෙක් වෙසක් කූඩුවක් අල්ලාගෙන- ඇත්තටම සිදු වූ දේ දන්නේත් නැතිව දකුණේ ජීවත්වෙන දෙමළ ජනතාවට තර්ජනය කරන පරිද්දෙන් කළු ජූලිය සාධාරණීකරණය කරයි.

‘ලංකාවේ දකුණේ කොල්ලෙක් යාපනේ විශ්වවිද්‍යාලයක මැරුණොත් නැවත කලු ජූලියක් ඇතිවෙන්නෙ නෑ කියලා මට නම් කියන්න බෑ. අද මම කතා කරන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න සිද්ධවෙයි කියලා හිතෙන වැඩක් ගැන කලින් දැනුම්වත් කරන්න.‘ සෝමේ මේ කතාව තුළ ඉතා බිහිසුණු ලෙස කියන්නේ කුමක්ද? නැවතත් දකුණේ නිවාස ගිනි තියන්න ඔහු සූදානම් බවද?

සෝමේ මෙහිදී කියයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සහ දෙමළ කොල්ලන් කෙල්ලන් එකතු වී පහන් කූඩුවක් හැදූ බවයි. ඉතින් එය සංහිදියාවේ කතාවක් බව ඔහුත් දනී. එකතු වී හදපු පහන් කූඩුව උදේ වෙද්දී කඩා ඇති බව ඔහු එයින් පසු කියයි.

එයින් පසු කෙළින්ම දිලිත් ජයවීරලා ඇතුළු දකුණේ ජාතිවාදීන් ඉමහත් ප්‍රීතියෙන් පිනා ගොස් නිවේදන දමමින් තලු මරන්නට පටන් ගත් මේ සිදුවීම ගැන, පූර්ව නිගමනයක සිට මෙසේ කියයි.

‘මම ජාතිවාදයට කැමති නැති මනුස්සයෙක්. අපි විශ්වවිද්‍යාලවල ඉගෙනගනිද්දී උතුරෙන්, නැගෙනහිරින් ආපු යාලුවන්ටත් කිසිම වෙනස්කමක් නොදැනෙන විදියටයි වැඩ කළේ.‘ යනුවෙන් ඔහු කියයි.

‘දකුණේ ඉන්න සිංහල කොල්ල කෙල්ලටත් උතුරේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළ්වෙද්දී ඒ නිදහස තියෙන්න ඕනි.‘ යනුවෙන් ඔහු හගවන්නේ යාපනයේදී සිංහල සිසුන්ට ඉන්න බැරි තත්වයක් ඇතැයි හගවයි.

සෝමෙ ජාතිවාදයට කැමති නෑ කිව්වත් කණගාටුදායක කරුන වන්නේ සෝමේත් ජාතිවාදියෙකු වීමය. සෝමේ වෙසක් පහන් කූඩුවක් මත දකුණ ඇවිස්සීමට වීඩියෝවක් පළ කරයි.

එහෙත් සැබෑ තත්ත්වය කුමක්ද?

සෝමේත් කීවා වගේ මෙම වෙසක් සැමරුම හුදෙක් දකුණෙන් ගිය සිංහල සිසුන්ගේ පමණක් ව්‍යාපෘතියක් නොවේ. එය සංවිධානය කරනු ලැබුවේ යාපනය කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසිනි.

එහි සභාපතිවරයා ඇතුළු බහුතර සාමාජිකත්වය නියෝජනය කරන්නේ දෙමළ සිසුන්ය. ඔවුහු ජාතික සංහිඳියාව සහ සහජීවනය පෙරදැරිව, ඉතා යහපත් චේතනාවෙන් යුතුව මෙම වෙසක් සැමරුමට මූලිකත්වය ගෙන කටයුතු කළහ. සැබෑවටම මෙය දෙමළ සහ සිංහල සිසුන්ගේ එකමුතුවෙන් නිමැවුණු සාමයේ සංකේතයකි. මෙම විනාශකාරී ක්‍රියාවට එරෙහිව සිසුන් 300ක් පමණ එකතුව කළ පැමිණිල්ල සහ විරෝධතාවය මගින් පෙන්වා දෙන්නේද ජාති භේදයකින් තොරව ඔවුන් අසාධාරණයට එරෙහිව එකට සිටගත් බවයි.

එසේනම්, සහජීවනය වෙනුවෙන් ඉදි වූ මෙම වෙසක් කූඩුව කඩා දැමුවේ කවුද? ඊටත් වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ, මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව හරහා දකුණේ සිංහල සමාජ මාධ්‍ය අවකාශය තුළ “බෞද්ධ සිසුන් හැදූ කූඩුව දෙමළ සිසුන් කැඩුවා” යන අන්තවාදී හැඟීම ජනනය කරන්නේ ඇයිද යන්නයි.

සෝමේගේ වීඩියෝවත් හදා තිබෙන්නේ ඒ පූර්ව නිගමනයේ සිටය.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ බහුතරය දෙමළ සිසුන් සහ සිසුවියන්ය. ම නිර්මාණය කර තිබුණේත්, වෙසක් කලාපය නිර්මාණය කර තිබුණේත් ඒ සිසුන්ය.

මෙය නිර්මාණය කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩු කැඩිමක් ගැන බිය පතුරවා දකුණේ ජාතිවාදය පැතිරවීමට නිර්ලජ්ජිත උත්සාහයක නිරත වෙන දිලිත් ජයවීරගේ පක්ෂය සහ සෝමෙලා වැනි ජාතිවාදීන්ට උත්තර දෙන්නට නොවේ.

මෙවර නාග විහාරයේ වෙසක් කලාපය නැරඹීමට දසදහස් ගණන් දෙමළ ජනතා ඇවිත් තිබුණේ සෝමෙලාට ‘අපි ජාතිවාදී නෑ‘ කියා උත්තර බදින්නට නොවේ.

එහෙත්, ඇත්තටම මේ සිදුවීම් ඇත්ත නොදැන බිය පතුරුවා යළි ගිනි ඇති කරන ඔවුන්ට මේ සිදුවීම් මනා පිළිතුරකි.

සිදුවීම්වල අග මුල නොදැන, හෝ දැන දැනම සත්‍යය වසන් කරමින්, දකුණේ ජාතිවාදය ඇවිස්සීමේ පටු අරමුණින් ක්‍රියා කරන ‘සර්වජන බලයේ’ නායක දිලිත් ජයවීර මහතාගෙන් අපි ඍජුවම ප්‍රශ්න කිහිපයක් අසමු:

ව්‍යාජ තොරතුරු සමාජගත කරන්නේ ඇයි?

ඔබගේ පක්ෂය මෙම සිදුවීමේ සත්‍ය කරුණු—එනම් දෙමළ සිසුන්ගේ මූලිකත්වයෙන් මෙම වෙසක් උත්සවය සංවිධානය වූ බව—සිතාමතාම වසන් කර, හදිසියේම මාධ්‍ය නිවේදන නිකුත් කරමින් දකුණේ සිංහල ජනතාව තුළ දෙමළ ජනතාව කෙරෙහි වෛරයක් ඇති කිරීමට උත්සාහ කරන්නේ ඔබේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්ද?

ඔබේ ‘සර්වජන’ බලය ජාතිවාදයද?

යාපනයේ සිසුන් එකමුතුවෙන් ගොඩනැගූ සහජීවනයේ පාලම කඩා බිඳ දමා, උතුරේ බෞද්ධ කටයුතුවලට ඉඩක් නැතැයි යන බොරුව සමාජගත කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන ‘සර්වජන’ (සියලු ජනතාවගේ) බලය කුමක්ද?

විකල්ප ප්‍රතිපත්ති නැතිද?

ජාතිවාදය අවුස්සා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ යල්පැන ගිය, රට විනාශ කළ පටු දේශපාලන උපායමාර්ගය හැර වෙනත් කිසිදු හරවත් දේශපාලන දැක්මක් ඔබගේ පක්ෂයට නොමැතිද?

අරුන් සිද්ධාර්ථ් වැනි නියෝජිතයින් යොදාගනිමින් මෙවැනි සුළු සිදුවීම් හරහා හෝ දකුණේ ජාතිවාදය ඇවිස්සීමට දරන මෙම නිර්ලජ්ජිත උත්සාහය අප තරයේ හෙළා දැකිය යුතුය. තමන්ගේ අන්තවාදී දේශපාලන ව්‍යාපෘති සඳහා සිසුන්ගේ සහජීවනය පාවා දෙන මෙවැනි බලවේග පිළිබඳව සමාජය අවදියෙන් සිටිය යුතුය. ඉදිරියේදී යාපනයේ ශිෂ්‍ය සංගම් විසින්ම මේ පිළිබඳව නිල වශයෙන් සත්‍යය හෙළි කරනු ඇත.

එබැවින්, අන්තවාදී දේශපාලන බලවේග විසින් පතුරුවන ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටී, සිංහල සහ දෙමළ සිසුන් අතර ගැටුමක් ලෙස මෙය අර්ථකථනය කරගැනීමෙන් වළකින ලෙස දකුණේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ජාතිවාදය විකුණා බලයට ඒමට සිහින දකින දේශපාලකයන්ගේ බංකොලොත් උත්සාහයන් පරාජය කළ හැක්කේ, සත්‍යය සහ සහජීවනය අවබෝධ කරගැනීමෙන් පමණි.

Author

1 Comment

  • හරිනේ තරිදු කියන අන්තවාදියා සල්ලි වෙලට මෙ දෙ කරන්නේ දෙමළ බෙදුම්වාදි ත්‍රස්තවාදින් මෙ පහර වැ ඩෙ කරෙ

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading