ඔහුගේ නම කෝණගොඩ නිර්මාණ ඉන්ද්‍රජිත් බණ්ඩාර ය. නමුත් පාතාලයට, දේශපාලකයන්ට සහ කලාකරුවන්ට ඔහු ඉස්සර “සිංගප්පූරු හර්බි” විය. දැන් ඔහු “හර්බි අයියා” ය.
මහනුවර ප්‍රකට ට්‍රිනිටි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මොහු, අද වන විට සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන කාගෝ (Cargo) ව්‍යාපාරය හරහා ජාත්‍යන්තරව ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගාගෙන තිබේ. දේශපාලනික සමාජයේ ඉහළම පුටුවල සිට පාතාලයේ අඳුරුතම අහුමුළු දක්වා දිවෙන ඔහුගේ සබඳතා ජාලය කලාවටත් විහිදෙයි.
කරාතේ පුහුණුකරුවෙකු වන මහේෂ් සුරවීර ඔහු ගැන ලියා ඇති ෆේස්බුක් ලිපියක මෙසේ ඇත.
‘මාධ්‍ය වාර්තා සහ සිරස්තලවලට එහා ගිය, වසර විසිහතරකට (දශක දෙකකට) ආසන්න කාලයක් ඔහුව සමීපව ඇසුරු කළ මිතුරෙකු ලෙස, මේ මාධ්‍ය ඝෝෂාව මැද “කව්ද මේ හර්බි?” යන්න පිළිබඳව මා සතු පෞද්ගලික, අවංක සහ සැබෑ නිරීක්ෂණය මෙලෙස සටහන් කර තැබීමට අදහස් කළෙමි. මෙය කිසිවෙකු වෙනුවෙන් කරනු ලබන පෙනී සිටීමක් හෝ අධිකරණ තීන්දුවක් නොවේ, හුදෙක් මා දන්නා මනුෂ්‍යයා පිළිබඳ සැබෑ ආවර්ජනයක් පමණි.
මා නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි මුලින්ම හඳුනා ගත්තේ මීට වසර විස්සකට පමණ පෙරය. මහනුවර ප්‍රමුඛ පෙළේ ප්‍රධාන පාසලකින් මූලික අධ්‍යාපනය ලබා, පසුව ඉන්දියාවේ ප්‍රකට විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය (උපාධිය) හැදෑරූ ඔහු, සිය ව්‍යාපාරික ජීවිතය ආරම්භ කිරීමට පෙර වසර ගණනාවක් සිංගප්පූරුවේ ජීවත් විය.
ඔහුගේ ප්‍රධානතම ව්‍යාපාරික ව්‍යාපෘතිය වන්නේ ඩුබායි සහ සිංගප්පූරුව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන “Nirmana Cargo” ආයතනයයි. වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සක්‍රීයව කටයුතු කරන ඔහු, විවිධ රටවල් සහ සංස්කෘතීන් ඇසුරින් ලැබූ පදම් වීම නිසාම ඕනෑම පසුබිමක, ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු සමඟ ඉතා පහසුවෙන් සුහදතාවයක් ගොඩනඟා ගත හැකි සුවිශේෂී පෞරුෂයක් හිමිකර ගත්තෙකි. එමෙන්ම ඔහු භාෂා කිහිපයක් හැසිරවීමේ දක්ෂතාවයකින් ද යුක්තය.
හර්බිගේ චරිතය තුළ මා දුටු වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය නම්, ඔහු කිසිවිටෙකත් තමන්ගේ ඇසුර හෝ මිත්‍රත්වය එක් සීමිත සමාජ වටපිටාවකට පමණක් කොටු කර නොගැනීමයි.
ඔහුගේ මිත්‍ර සමාගම ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, නළු නිළියන් මෙන්ම සමාජයේ විවිධ තරාතිරම්වල සහ විවිධ ජාතීන්වල පුද්ගලයන්ගෙන් සමන්විතය. ජාත්‍යන්තර මට්ටමින් පුළුල්ව වැඩ කරන ව්‍යාපාරිකයෙකුට විවිධ පසුබිම් ඇති, ඇතැම් විට මතභේදාත්මක පසුබිම් ඇති පුද්ගලයන් පවා මුණගැසීම සහ කතාබස් කිරීමට සිදු වීම ස්වාභාවිකය. නමුත් කෙනෙකු ඇසුරු කළ පමණින් හෝ වචනයක් කතා කළ පමණින්, එම පුද්ගලයන්ගේ ක්‍රියාවන් හෝ මතවාදයන් ඔහුට ද අදාළ වේ යැයි උපකල්පනය කිරීම සදොස් ය.
ඔහු කිසිදා එකම එක දේශපාලන කඳවුරකට සීමා වූවෙක් නොවේ. පාලක පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ප්‍රධානීන් සමඟ වසර ගණනාවක සිට සුහද සබඳතා පැවැත්වූ ඔහු, දේශපාලන පාට හෝ පක්ෂ බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට පසුබට නොවූවෙකි. ඔහු නිතරම විශ්වාස කළේ මිනිසෙකුට උදව් කිරීම දේශපාලන ලේබල්වලට වඩා ඉහළින් පවතින බවයි.
ව්‍යාපාරික ලෝකයෙන් ඔබ්බට ගිය, සංවේදී සහ නිර්මාණශීලී මිනිසෙකු හර්බි තුළ ජීවත් වෙයි.
ඩුබායි සහ සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව එකමුතු කරමින්, ඔවුන් වෙනුවෙන් සංගීත ප්‍රසංග, අවුරුදු උත්සව සහ විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට ඔහු නිරන්තරයෙන් පෙරමුණ ගත්තේය. එමෙන්ම ලාංකීය කලා ක්ෂේත්‍රය කෙරෙහි තිබූ ලැදියාව නිසාම, මෙරට ප්‍රසිද්ධ ප්‍රමාණික කලාකරුවන්ගේ නිර්මාණ දිරිගන්වමින්, “කොඩි ගස යට”සහ “රහස් කියන කඳු” වැනි ප්‍රකට ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ සඳහා නිෂ්පාදකවරයෙකු ලෙස (Producer) දායකත්වය සපයනු ලැබීය.
ක්‍රීඩා ක්ෂේත්‍රය දෙස බැලීමේදී, මෙරට තදින් පහරදීමේ කරාතේ (Full-contact Karate) ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්, විශේෂයෙන්ම ශිදෝකාන් (Shidokan)සටන් කලාව සහ තරුණ ක්‍රීඩකයන් නඟා සිටුවීමේ කටයුතුවලදී ඔහු විවිධ උපදේශන මට්ටමින් සහ අනුග්‍රාහකත්වයන් දක්වමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
මෙලෙසම, රටට දුෂ්කරතා පැමිණි සෑම අවස්ථාවකදීම ස්වාභාවික ව්‍යසන, දරුණු චණ්ඩ මාරුත සහ විවිධ අර්බුද පවතින අවස්ථාවලදී – පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සේවා සැලසීමට සහ ප්‍රජා සත්කාරයන් සඳහා ඔහු සක්‍රීයව දායක වූ අයුරු මා හොඳින්ම දනී.
වසර විස්සක ඇසුර තුළ මා හඳුනාගත් හර්බි යනු ඉතා සෘජුව, කෙලින් කතා කරන, තමන් කියන වචනය ඒ අයුරින්ම රකින විශ්වාසවන්ත පුද්ගලයෙකි. පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා අන් අය නොමඟ යවන ආකාරයේ චරිතයක් ලෙස මා ඔහුව කිසිදා දැක නැත.
වර්තමාන සිදුවීම සම්බන්ධයෙන් මගේ ස්ථාවරය ඉතා සරල සහ පැහැදිලිය. යම් පුද්ගලයෙකු වංචනික ලෙස මුදල් ලබාගෙන තිබේ නම් හෝ ගිවිසුමකට අනුව කටයුතු කර නැත්නම්, එය වැරදිය. එය නිසි නීතිමය මාර්ගවලින් විමර්ශනය විය යුතුය. නමුත්, ඒ සියල්ල තීරණය විය යුත්තේ සාක්ෂි සහ නීතිමය ක්‍රියාපටිපාටිය මත මිස, සමාජ මාධ්‍යවල හැසිරීම් හෝ පොදු මහජන මතය මත පමණක් නොවේ.
මිනිසෙකුගේ ජීවිතය, ව්‍යාපාරික සාර්ථකත්වය හෝ එක් මොහොතක ඇති වන ප්‍රසිද්ධිය මතම පමණක් මැනිය නොහැක. ඔහු අන් අය වෙනුවෙන් කළ යහපත් බලපෑම ද දෙස බැලිය යුතුය. සිරස්තල සහ පුවත්පත් වාර්තාවලින් ඔබ්බට ගිය, වසර ගණනාවක් තිස්සේ අප දන්නා හඳුනන මිනිස්කම පිරුණු විශාල කතාවක් සෑම පුද්ගලයෙකුටම ඇත.
යුක්තිය බලයට හෝ ජනප්‍රියත්වයට යට නොවිය යුතුය; එය මෙහෙයවිය යුත්තේ සත්‍යය සහ කරුණු මත පමණි.‘
ත්‍රස්ත පනතෙන් අත්අඩංගුවට
ඉහත ලිපිය ලියුම්කරුගේ මතය පමණි. ඕනෑම කෙනෙකු ගැන එවැනි වර්ණනාවක් ලිවිය හැක. අපගේ අවධානය යොමු වන්නේ අප ඉදිරියේ ඇති කරුණු ගැනය.
හර්බිට අදාල පරණ සිදුවීමක් ගැන කිව යුතුය. ඒ, මංකොල්ලකෑමකට අදාළව උණ්ඩියල් ක්‍රමයට මුදල් භාරගැනීමේ චෝදනාවක් මත ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරගත කළ අවස්ථාවය. ඔහු පිළිබද අධිකරණවලට මීට පෙර කරුණු වාර්තා කළ අවස්ථාවලදී මේ පැරණි සිදුවීමත් ඔහුට අදාලව මතු වී තිබේ. කෙසේ වෙතත්, එම චෝදනාව පසුව ත්‍රස්ත පනතෙන් සාමාන්‍ය නීතියට මාරු කළ අතර, ඔහු එම චෝදනාවෙන් එදා නිදහස් විය. මේ වෙද්දීත් ඔහු බරපතල චෝදනාවකට අධිකරණය ඉදිරියේ ලක් වී නැත. ඒ ඔහු අපරාධවලට කිසිම සම්බන්ධයක් නැති කෙනෙකු නිසා බව කියන්නට අපට කිසිදු හැකියාවක් නැත. අපට කිව හැක්කේ අධිකරණ ඉදිරිපිට ඔහුට චෝදනා නැති බව පමනි.
ඔහු මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා වැනි මෙරට අංක එකේ පාතාල නායකයන්ගේ සමීප චරිතයක් බවට පත් විය. අද වන විටත් ඇතැම් පාතාලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔහුව ගෞරවයෙන් හඳුන්වන්නේ “හර්බි අයියා” යනුවෙනි.
2023 මැඩගස්කර ජෙට් යානය
හර්බිගේ නම ප්‍රසිද්ධ මාධ්‍යයේ කතාබහ ලක් වූ අවස්ථාවක් ලෙස 2023 අප්‍රේල් මාසයේදී මතු වූ කරුණු හැදින්විය හැක. නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික හෙවත් ‘කුඩු සළිඳු’ ඩුබායි සිට මැඩගස්කරය බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන්ට පෞද්ගලික ජෙට් යානයක් (Private Jet) සපයා දුන්නේ මොහු විසිනි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඔහුට එල්.ටී.ටී.ඊ (LTTE) සබඳතා ඇති බවට චෝදනා කළද, හර්බි එය තරයේ ප්‍රතික්ෂේප කළේය.
එහි සැබෑ තත්ත්වය නම්, ඔහු පවසන පරිදි, තමන් හරක් කටාගේ මුදල්වලින් චාටර් ෆ්ලයිට් එකක් බුක් කර දීම පමණක් සිදු කර ඇත. ව්‍යාපාරිකයෙකු ලෙස වෙනත් අයෙකුගේ මුදල්වලින් ගුවන් යානයක් වෙන් කර දීම නීතියෙන් වරදක් නොවන බව ඔහුගේ ස්ථාවරය විය. ඔහු බොහෝ විට අපරාධ චෝදනාවලින් ගැලවී සිටින්නේ මෙලෙස අතේ දුරින් සිටීම නිසා විය හැක. නැත්නම් ඔහු ඇත්තටම අතේ දුරින් ඉන්නවා විය හැක.
කෝටි 12 අල්ලස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු
2026 ජූනි මාසයේදී හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට පත්වන අල්ලස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන්නේ ද මෙම හර්බිය.
හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් පසු, ඔහුගේ බිරිඳ මධුෂිකා, තම සැමියාට යම් සහනයක් ලබාගැනීමට හර්බිගෙන් ඉල්ලීමක් කර ඇත. එහිදී චරිත් අබේසිංහ හර්බිට කතා කරමින් පවසා ඇත්තේ, “රඛිත මගේ යාළුවා, මේක කරලා දෙන්නම්” යනුවෙනි. ඉන්පසු ඩුබායි හි හර්බිගේ නිවසේදී චරිත්, රඛිත සහ අරුණ ශ්‍රී චතුරංග යන අය හරක් කටාගේ බිරිඳ සමඟ සාකච්ඡා කර ඇත.
හරක් කටාගේ රැඳවුම් නියෝග (DO) ඉවත් කිරීමට කෝටි 50ක් ඉල්ලා සිටියද, පසුව එය කෝටි 20 දක්වා අඩු කරගෙන, ඩුබායිවලදීම කෝටි 12ක් අත්තිකාරම් ලෙස ලබාගෙන ඇත. නමුත් පොරොන්දු වූ පරිදි DO ඉවත් නොවූ බැවින්, හරක් කටාගේ පාර්ශවය රණ්ඩු වී මුදල් ආපසු ඉල්ලා තිබේ. එහිදී හරක් කටාගේ හොඳම මිතුරෙකු වූ මිදිගම ලසා හරහා කෝටි 2ක් ආපසු ලබා දී ඇත.
මෑතකදී ඉතිරි මුදල් ඉල්ලූ විට රඛිත රාජපක්ෂ හර්බිට සහ මධුෂිකාට දී ඇත්තේ ඉතා උඩඟු පිළිතුරකි: “අපි සල්ලි ගත්තේ කොටස් දෙකකට. ජීවිතේ බේරන්න කෝටි 10යි. ඩී.ඕ අයින් කරන්න 10යි. අපි ඩී.ඕ අයින් කරන්න බැරිවුණාට ඔය ඉන්නේ හොඳට කේක් ගෙඩිය වගේ. ඒ නිසා කෝටි 10 අපේ.” මෙය ආරංචි වීමෙන් දැඩි සේ කෝපයට පත් හරක් කටා ඇතැම් තැන්වල රඛිත රාජපක්ෂව ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවද වාර්තා වේ.
හර්බි කලාවට ගෙනාවේ මොන සල්ලිද?
හර්බි යනු හුදෙක් පාතාල තැරැව්කරුවෙකු පමණක් නොවේ. වත්මන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම සිනමාකරුවෙකු ද වන ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සහ ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යය යන නිර්මාණ සඳහා නිෂ්පාදකවරයෙකු ලෙස මුදල් ආයෝජනය කර ඇත්තේ හර්බිය.
ඇත්තෙන්ම ජගත් මනුවර්ණ තවත් නිෂ්පාදකයන් දෙදෙනෙකු සමග ගනුදෙනු කර ඇත. එක් අයෙක් පිරමීඩ වංචා ගැන චෝදනා ඇත්තෙකි. අනෙක් පුද්ගලයා ලංකාවේ හාවි වයින්ස්ටීන් යනුවෙන් සමහරු හදුන්වන සුනිල් ටී පෙරේරාය. ජගත් මනුවර්ණ පමණක් නොව ලංකාවේ බොහෝ සිනමාකරුවන් වැඩ කරන්නේ දූෂිත ධනය ලෙස චෝදනා ලත් ධනයක් සහිත පුද්ගලයන් සමගය. බොලිවුඩ් සිනමාකරුවන් දාවුඩ් ඊබ්‍රාහිම්ලා එක්ක වැඩ කළා සේ ලංකාවේ කලාවටත් දූෂිත ධනය පැමිණ ඇත. ලෝකයේ බොහෝ තැන්වල එවැනි දූෂිත ධනයක් ඇත.
එහෙත්, දූෂණ විරෝධී ආණ්ඩුවක ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ නිර්මාණ සඳහා පාතාලයට සෘජු සබඳතා ඇති මුදල් යොදවා තිබීම ඇතැමුන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඒ ගැන අපි කිසිවක් කියන්නේ නැත. ඒ විවේචනය සිදු කිරීමට සාධාරණ අයිතියක් ඔවුන්ට ඇත. කෙසේ වෙතත්, මේ වන තෙක් තමන්ගේ නිර්මාණවලට ප්‍රාග්ධනය ලබා ගෙන එයට අදාලව නිල වශයෙන් ගනුදෙනු කිරීම හැර ජගත් මනුවර්ණ කිසිදු ආකාරයකට අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ වූ බවක් හෙළි වී නොමැත. එවැන්නකට කිසිදු අනුබල දීමක් සිදු කර ඇති බවක්ද හෙළි වී නොමැත.
රජයේ සපෝට් එක
එහෙත්, A5 News සහ වරුණ රාජපක්ෂගේ යූටියුබ් නාලිකා ඔස්සේ මෑතකදී නිකුත් වූ හඬපට හරහා ද හර්බිගේ යැයි කියන කටහඩෙන් කී කතාවලට නම් අවධානය යොමු කළ යුතුය.
දුරකථන සංවාදවලදී “හර්බි අයියා මට කතා කරලා කිව්වා” යනුවෙන් විවිධ පුද්ගලයන් පවසන අතර, හර්බිගේ යැයි සිතිය හැකි කටහඩකින් පවසන්නේ “රජයේ සපෝට් එක මට තියෙනවා” යන කාරණයයි. එය බරපතල ලෙස සැලකිය යුතුය.
හර්බි නඩුවක සාක්ෂිකරුවෙකු වීම එක කතාවකි. ඔහු ‘රජයේ සපෝට් එක‘ තමන්ට ඇතැයි සිතනවා නම් එය ඊට වඩා බරපතල කාරණයකි. එම නිසා මේ මොහොතේ විපක්ෂයේ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මතු කරන කාරණාද සැලකිල්ලට ගැනීම වැදගත්ය. අල්ලස් කොමිසම තමන්ගේ විමර්ශනය ඉදිරියට ගෙන යන අතරේම හර්බිලාට අපරාධ ලෝකය සමග සම්බන්ධතා තිබෙනවා නම් ඔවුන් කර ඇති දේවල් දෙසටද විමර්ශකයන්ගේ අවධානය යොමු වීම අතිශය වැදගත්ය.
මිස්ටර් කොත්තු ගැන සොයන ලෙස ඉල්ලා සිටින සමාජය, ඒ ගැන සොයනවා වාගේම හර්බි ගැනත් සොයන ලෙස ඉල්ලා සිටිය යුතුය. සැක සහිත ධනවතුන්ගේ ලැයිස්තුව ආණ්ඩු හිතවාදීන් සහ විරෝධීන් ලෙස බෙදා වෙන් කළ නොහැකි නිසාය.
මෙම ලියුම්කරුගේ පුද්ගලික මතය ගත්තද, ලංකා ඉතිහාසයේ ලියුම්කරු කැමතිම සිංහල චිත්‍රපටියේ නිෂ්පාදකයෙක් වූ පමණින් හර්බි හොද වෙන්නේ නැත. පල්ප් ෆික්ෂන් හෝ ගුඩ් විල් හන්ටින් නිෂ්පාදනය කළාට හාවි වයින්ස්ටින් හොද වෙන්නේත් නැත. චිත්‍රපටි ගොඩක් හැදුවාට දාවුඩ් ඊබ්‍රාහීම්ගේ ඩි කම්පැණි හොද වෙන්නේත් නැත.
