වාහන ආනයන බද්ද මත 50% අධිභාරය දීර්ඝ කෙරේ

ආනයනික මෝටර් වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බද්ද මත පැනවූ සියයට 50ක් වූ අධිභාරය අගෝස්තු මස 15 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා තීරණය කර ඇත.


ඒ සම්බන්ධයෙන් වූ රේගු නිවේදනය ජනාධිපතිවරයා විසින් අගෝස්තු 13 දින සහිතව නිකුත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය අගොස්තු 14 දින සහිතව මුද්‍රණය කරන ලෙස රජයේ මුද්‍රණාලාධිපතිවරයාට වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඓශානි ජේ අබේරත්න විසින් දැනුම් දී තිබේ.


එම අධිභාරය පැනවීම 2026 මැයි 15 දින හෝ එදිනට පෙර ණයවර ලිපි විවෘත කරන ලද නිශ්චය කරන ලද මෝටර් වාහන ආනයන සම්බන්ධයෙන් නිදහස් කර ඇති අතර ඒ එම දිනයට පසු ණයවර ලිපියේ සඳහන් වාහන සංඛ්‍යාව, වාහනය හඳුනා ගැනීමේ අංකය, වාහනයේ විස්තරය, වාහනයේ තාක්ෂණික පිරිවිතරයන්, ණයවර ලිපියේ කල් ඉකුත් වීමේ දිනය යන ඒවායින් එකක් හෝ කිහිපයක් සංශෝධනය නොකරන ලද වාහන සඳහාය.


එමෙන්ම 2026 මැයි 15 දින හෝ එදිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇතත් නැව්භාර පත්‍රයේ හෝ ගුවන් භාර පත්‍රයේ නැව්ගත කරනු ලැබූ හෝ ගුවන් ගත කරනු ලැබූ දිනය 2026 නොවැම්බර් 15 දිනට පසු දිනයක් නම් එම වාහනද අධිභාරයෙන් නිදහස් නොවේ.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading