ශිරාන් බාසික්ට පැය 72ක රැඳවුම් නියෝග

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ජාත්‍යන්තර ත්‍රස්ත සබඳතා සහිත ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශීරාන් බාසික් නමැත්තා පැය 72ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විදේශගතව සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ, දෙහිවල පදිංචි 48 හැවිරිදි මෙම සැකකරු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ දින මෙරටට රැගෙන එන ලදී.

ඒ අනුව අබුඩාබි නුවර සිට පැමිණි එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් 3L708 දරන යානයෙන් ඊයේ (14) රාත්‍රීයෙදි ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

ඩුබායිහි සුඛෝපභෝගී ධනවතෙකු ලෙස පෙනී සිටිමින් රැඳී සිටි මොහුව එරට පොලිසිය විසින් කොටුකර ගෙන ඇත්තේ පසුගිය මැයි 26 වනදාය.

මෙරටට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පස්දෙනා අතරින් එක් අයෙකු ලෙස සැලකෙන මොහු, ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ ඍජු සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සබඳතා හේතුවෙන් ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට ද අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන අතර, ඔහුව භාරදෙන ලෙස ශ්‍රී ලංකාව මෙන්ම ඇමෙරිකාව ද මීට පෙර ජාත්‍යන්තර ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, ශීරාන් බාසික් නමැති මෙම සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

මීට අමතරව ගිනිඅවි ළඟ තබා ගැනීම, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, බෙදාහැරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇති බව ඔහු පැවසීය.

දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ ඉඩම් ලබාගෙන ඔවුන්ගේ නම්වලින් දැවැන්ත හෝටල් සංකීර්ණ ඉදිකර ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මොහු විසින් මෙලෙස අනීතික මාර්ගවලින් උපයාගත් දේපළ සහ වත්කම් පිළිබඳව විශේෂ විමර්ශනයක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මේ වන විටත් අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ඔහු පවසන්නේ අධිකරණය මඟහැර විදේශයන්හි සැඟව සිටින මෙරට අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන 93ක් නිකුත් කර තිබූ බවත්, මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉතිරිව ඇති රතු නිවේදන 92ට අදාළ සැකකරුවන් ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත්ය.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading