නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ සම්පූර්ණ, සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (14) දින යොමුකර ඇති ලිපියකින් නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ, එම සාකච්ඡාවට අදාළ වීඩියෝ පටයේ කොටසක් තමන් වෙත ලැබී ඇති නමුත්, එය සම්පූර්ණ පටිගත කිරීම නොවන බවයි.

එම වීඩියෝ පටයෙන් ලබාදී ඇත්තේ, මූලික සාකච්ඡාවේ කොටසක් පමණක් වන අතර ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොවන බව නීතිඥ සංගමය පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව සාකච්ඡාව පුරා සිදු වූ සියලු අදහස් දැක්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර සහ නීතිඥ සංගමයේ නියෝජිත පිරිස විසින් අවසානයේ සිදුකළ ප්‍රකාශ ඇතුළත් සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලීමක් කර ඇත්තේ.

එම වීඩියෝ පටය ඉහළම ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගුණාත්මක තත්ත්වයෙන් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා සහ නීතීඥ සංගමය අතර පැවති සාකඡාවේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලා නීතීඥ සංගමය විසින් යොමු කළ ලිපියට ජනාධිපති මාධ්‍ය අංශය නිල පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.

අදාළ සාකච්ඡාවේදී නීතීඥ සංගමයේ සභාපතිවරයා සිදුකළ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම පසුගිය අගෝස්තු 12වන දිනයේදීම ලබා දුන් බවද එම ලිපියේ සඳහන්.

තවද රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශවයන්ගේ අදහස් දැක්වීම් ඇතුළත් වීඩියෝ පටිගත කිරීම් අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට අනුකූලව හැකි ඉක්මනින්ම ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවද ලිපියේ සඳහන්ව තිබෙනවා.

අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Author