අමාලි වෙදගෙදර
දුර්වල ආර්ථික ව්‍යුහයත් අධික වශයෙන් අපනයන සහ ණය මත යැපීම ලංකාවේ ආර්ථිකයේ මුලික ලක්ෂණයක්. මේ තත්වය අවුරුද්දෙන් අවුරුද්ද නරක් වුනා මිසක්, හොඳ අතට පරිවර්තනය වුනේ නැහැ. සුළු වශයෙන් හෝ දේශීය අවශ්‍යයතා පිරිමැහුව කර්මාන්ත අද වෙන කොට සම්පුර්ණයෙන්ම කඩා ගෙන වැටිලා. ඇත්තටම කිව්වොත් කඩා වැටෙන්න සලස්වලා. කුඩා ගොවියා, කර්මාන්තකරුවා පාගා නැඟී සිටින බැංකු, මුල්‍ය සමාඟම් මේ පරිවර්තනයේ ප්‍රධාන නළුවෝ. 1977 සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ව්‍යුහාත්මක වශයෙන් ඔලුවෙන් හිට ගස්වන්න බුද්ධිමය වශයෙන් විතරක් නොවෙයි කැරට් අල විදිහට ණය දෙමින් ලංකාවේ ආණ්ඩු කරවපු, කරවන අයව දක්කන IMF, ලෝක බැංකුව සහ අසියා සංවර්ධන අරමුදල මේ පරිවර්තනයේ කතෘන්.
මීට අමතරව දුෂිත දේශපාලඥයින් හා එක්ව රාජ්‍ය දේපල සහ ව්‍යාපාර කඩා බිඳ දමමින් නැති බංගස්ථාන කරමින් පුද්ගලීකරණය නමින් ඒවා උදුරා ගන්න ප්ලෑන් ගහපු දුෂිත ව්‍යාපාරිකයෝ තමයි මේ පරිවර්තනයට පසුතල සකස් කරමින්, ආලෝක කරණය සපයමින් පහසුකම් සැපයූ අය. පැහැදිලි වශයෙන් රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂ ඇතුළු GL පීරිස්, රාජපක්ෂ පවුල, පාටලී චම්පික … ආදීන් ආර්ථිකය කඩා වැටීම දැන් මේ අලුතින්ම වෙන දෙයක්, එය පිලිබඳ පළමුවෙන්ම පුරෝකථනය කරමින් රට බේරා ගන්න ඉදිරිපත් වෙන දේශ මාමකයෝ බව පෙන්වන නාටක රඟනවා. හැබැයි ඇත්ත කතාව වන්නේ ඔවුන් එක මිටට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මිරිකා සාරය බිව් බවයි. ආර්ථිකයේ සාරය බි ඔවුන් තර වෙද්දී රට තව දුරටත් අගාධයට තල්ලු කල බවයි.
රට කඩා වැටීමේ අලුත්ම ජවනිකාව රඟන රනිල් වික්‍රමසිංහ සහ GL පීරිස් අපිට නොකියන්නේ මේ කඩා වැටීම ඔවුන් කලක් සිට සැලසුම් කල එකක් බවයි. 2024 ජනාධිපතිවරනෙට දවස් දෙකක් තියලා ණය ප්‍රතිව්‍යුහගතකරණය පිලිබඳ පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට රනිල් අත්සන් කලේ මේ සඳහා. ඔහු දන්නවා IMF කොන්දේසි ඇතුලේ හිර වෙලා, ණය ගෙවිමුත් මධ්‍යයේ, ලංකාව වගේ ආර්ථිකයක් ගොදුරු වෙන අවිනිශ්චිතා වලට මුහුණ දෙන්න බැරි බව.
ලංකාව වාර්ෂිකව සෑහෙන අවධානම් වලට මුහුණ දෙමින් උච්චාවචනය වන ආර්ථික වර්ධනයක් ඇති රටක්. ඒ නිසා ගලේ කෙටූ අකුරක් වැනි කොන්දේසි වලට මුහුණ දෙන්න අමාරුයි. ඒක ඉතාම අවධානම්. හරියට ස්ථිර ආදායමක් නැති, ආදායමක් තිබුනත් ආදායමේ පාලනය තමන්ට අහිමි දුප්පත් කාන්තාවන් LOLC වගේ ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනි වල ණය ගෙවාගන්න බැරිව සිටිනවා වගේ. ණය ගෙවීම් රාජ්‍යය අය වැයේ ප්‍රධාන කාර්යයක් බවට පත්කරමින්, රාජ්‍යයට වියදම් කිරීමේ ඇති හැකියාව දැඩි ලෙස පාලනය කරමින්, තව දුරටත් රාජ්‍යය හැකියාව විනාශ කිරීම ණය කොන්දේසි වලට දමා ඇති IMF සමඟ ඉදිරියට මොකුත්ම කරන්නට නොහැකි බව රනිල් හොඳින්ම දැන සිටියා.
දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩුකරවීම, අවධානම් වගේම රටේ ආර්ථිකය එක මිටට රැගෙන සිටින පිරිස පිලිබඳ වඩාත් හොඳ අවබෝධයක් තිබෙන අනුර කුමාර දිසානායක මේ උගුල හොඳින්ම දැන ගෙන, ජනවරමේ බලයෙන් කොන්ද කෙලින් කරගන්නේ නැතිව, පලවෙනි රජාසන කතාවේ ඉදන්, කලේ IMF වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝදන එක. ආණ්ඩුවේ සමහර ඇමතිවරු රනිල් වික්‍රමසිංහ පවා හේදුවා. සමහර මන්ත්‍රීවරු IMF හේදුවා.
රට මිටට ගත් කල්ලිය තමන්ගේ උපදේශකයෝ කරගත්ත. වාහන ආනයනය නිදහස් කරන්න එපා, අපනයන ආදායම් විදේශ ගිණුම් වල හිර කරගෙන ඉන්න දෙන්න එපා, IMF ගිවිසුම ආපහු කේවල් කරන්න …. මේ කිසිම දේකට NPP ආණ්ඩුව ඇහුන්කන් දුන්නේ නැහැ. ඉරානයට එරෙහි යුද්ධය කෙටිකාලින එකක්, ඒක ඉක්මනින් ඉවර වෙයි කියන පුරෝකතනය තමයි ආණ්ඩුවේ නායකයෝ සහ ඔවුන්ගේ උපදේශපකයෝ කලේ. ඔවුන්ගේ උපදේශකයෝ නම් ‘කල දුටු කල වල ඉහගත්’ පන්නයේ කෙටිකාලින සැලසුම් කරුවන් නිසා, යුද්ධය කෙටිකාලින බව කියමින් කරන පුරෝකතන හරහා වාසි ලබා ගන්නවා.
නමුත් NPP ආණ්ඩුව? ලංකාවේ මිනිස්සු දුන්න අයිතිහාසික ජනවරම සැහැල්ලුවට අරගෙන බමන මතින් ඉන්නේ ඇයි? ලෝක බැංකුව, ආසියා සංවර්ධන අරමුදල දෙන ණය ගන්න අපිට ඉතිරිවෙලා තිබෙන වස්තූන් විනාශ කරන්නේ ඇයි? ඩොලර් කිහිපයක් අරගෙන එන පලියට විදේශ ආයෝජකයෝ කියාගන්නා අයට මේ රට මංකොල්ල කන්න ඉඩ දෙන්නේ ඇයි?
ආර්ථිකය වගේම ජනතාව එක මිටට ගත් හොර රැල එලවන්න පෙරට ආපු ජනතාවගේ අරගලයෙන් බලයට ඇවිත් ප්‍රති-විප්ලවය දියත් කලේ රනිල් වික්‍රමසිංහ. ලංකාවේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික ප්‍රහාර ජනතාවට එල්ල වෙන්නේ රනිල්ගේ කාල සිමාවේ.
දැන් වෙන දේවල් වලින් පෙනෙන්නේ NPP ආණ්ඩුවත් රනිල්ගෙන් පසුව ඒ ප්‍රහාරවල අඛණ්ඩබව සුරකින්න ඉන්න කොටස්කරුවෝ බවයි.
දක්ෂිණාංශික ප්‍රති-විප්ලවයක හවුල් කරුවෝ.
පශ්චාත්-නිදහස් ලංකාවේ ආර්ථික ස්වාධිපත්‍යය තහවුරු කරන්න දමපු අත්තිවාරම් මේ ප්‍රති-විප්ලවය තුල විනාශ කරනවා. ඛනිජ තෙල් සංස්ථාව විනාශ කිරීම රනිල් කළා. විදුලි බල මණ්ඩලය විනාශ කිරීම NPP කළා. ණය කොන්දේසි වලට නිදහස් අධ්‍යාපනය පාවලා දෙනවා.
ආපහු විදේශීය බැඳුම්කර වෙළෙඳපල වෙත යන්න පිඹුරුපත් අඳිනවා. ඒ අස්සේ සුර්ය විදුලිබලාගාර කියමින් කැලෑ කපනවා. අගය එකතු කරනවා, පතල් කනිනවා කියමින් පරිසරය විනාශ කරනවා. මිනිස්සුන්ට උන් හිටි තැන් නැති කරනවා. ජීවිතේ අමාරුවෙන් ගැට ගහගෙන යන මිනිස්සුන්ගේ ජීවනෝපායන් විනාශ කරනවා.
වෙනසක් වෙනුවෙන් පත් කරපු ආණ්ඩුව, ප්‍රති-විප්ලවය ඉදිරියට ගෙනියනවා.
