යුරෝපා GSP+ සඳහා නව කොන්දේසි

යුරෝපා සංගමයේ GSP+ වෙළඳ සහනය 2027 වර්ෂයේ සිට යලි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවලට නව කොන්දේසි මාලාවක් පනවා ඇත.

නව GSP+ රාමුව මඟින් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය, දේශගුණික ආරක්ෂණය සහ යහපාලනය ආවරණය වන පරිදි අදාළ ජාත්‍යන්තර සම්මුති සංඛ්‍යාව 27 සිට 32 දක්වා ඉහළ නංවා ඇත.

එම කොන්දේසි යටතේ ජාත්‍යන්තර සම්මුතීන් 6 අලුතින් හඳුන්වා දී ඇත. එම සම්මුතීන් වන්නේ,
ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට සහ 1.5 දක්වා සීමා කිරීමට අදාළව වන පැරිස් ගිවිසුම,
ආබාධිතභාවයෙන් පෙළෙන සියලුම පුද්ගලයින්ට මානව හිමිකම් සහ මූලික නිදහස භුක්ති විඳීම තහවුරු කරන ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය,
වයස අවුරුදු 18ට අඩු දරුවන් යුද බිමට බඳවා ගැනීමෙන් වැළකීම සහ එලෙස යොදාගත් අය නිදහස් කර සමාජයට යළි එකතු කිරීම අරමුණු කළ සන්නද්ධ ගැටුම්වලදී දරුවන් යොදා ගැනීම පිළිබඳ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ විකල්ප කෙටුම්පත,
වැඩ කරන කොන්දේසි සහ සේවක ආරක්ෂාවට අදාළ නීතිමය විධිවිධාන බලාත්මක කිරීම සඳහා කම්කරු පරීක්ෂණ පද්ධති අඛණ්ඩව පවත්වාගෙන යාමේ කර්මාන්ත හා වාණිජ අංශයේ කම්කරු පරීක්ෂාව පිළිබඳ සම්මුතිය,
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේදී රජය, සේවායෝජකයන් සහ සේවක සංවිධාන අතර ත්‍රෛපාර්ශ්විකත්වය සහ සමාජ සංවාදය ප්‍රවර්ධනය කරන ජාත්‍යන්තර කම්කරු ප්‍රමිති ක්‍රියාත්මක කිරීම සඳහා වන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා පිළිබඳ සම්මුතිය,
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ නීතිමය ආධාර තහවුරු කරන ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් පලර්මෝ සම්මුතියවේ.

මෙම නව යෝජනා ක්‍රමය යටතේ කොන්දේසි බරපතල සහ ක්‍රමානුකූල උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත්, කිසිදු පමා වීමකින් තොරව වරප්‍රසාද අත්හිටුවීමේ නව යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත.

ප්‍රතිලාභී රටක පුරවැසියන් ආපසු භාරගැනීම සම්බන්ධයෙන් එම රට ප්‍රමාණවත් ලෙස සහයෝගය නොදැක්වීමද GSP+ වරප්‍රසාද ඉවත් කර ගැනීමට හේතුවක් ලෙස නව පනතට ඇතුළත් කර ඇත.

තවද, GSP+ තත්ත්වය ඉල්ලා සිටින හෝ පවත්වාගෙන යන රටවල්, මෙම සම්මුති 32 ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading