පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂි කැඳවීමෙන් පසු පැමිණිල්ල විසින් ප්‍රබල නඩුවක් ඉදිරිපත් කර ඇතැයි තීරණය කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්ති වාචක ඉදිරිපත් කරන ලෙස විත්තිකරුවන්ට නියම කර තිබේ.
නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක හා රාමනාදන් කන්නන් යන කොළඹ ස්ථීර ත්‍රිිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එසේ නියම කර ඇති අතර ඒ අනුව එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 25 දෙනාගේ විත්ති වාචක කැඳවීමට නියම කර ඇත.
එසේ නියම කර ඇත්තේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර දැනුම් දීමෙන් අනතුරුව වන අතර ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
පැමිණිල්ලේ සාක්ෂි විභාග කිරීම 2023.10.10 දින ආරම්භ කර තිබූ අතර දින 547ක කාලයක් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි විමසා තිබුණි.
මෙම නඩුව යළි අද (අගෝස්තු 14) දින කැඳවීමට නියමිතව ඇති අතර එහිදී විත්තිකරුවන්ගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත.
