ඇමෙරිකානු පාපන්දු ඉතිහාසය වෙනස් වෙයි! ඓතිහාසික 4-1 ක ජයග්‍රහණයේ වීරයා බැලගන්ගේ කතාව!

ලොස් ඇන්ජලීස් හි සුප්‍රසිද්ධ SoFi ක්‍රීඩාංගණය (SoFi Stadium) ප්‍රීති ඝෝෂාවෙන් දෙදරුම් කවමින් 2026 ෆීෆා ලෝක කුසලාන තරඟාවලියේ ඇමරිකාවේ ගමන අතිවිශිෂ්ට ලෙස ආරම්භ විය.

මෙවර සම-සත්කාරකත්වය දරන ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම, දක්ෂ උපක්‍රම සහ වේගවත් ක්‍රීඩා විලාසයක් දියත් කරමින් පැරගුවේ කණ්ඩායම 4-1 ක් ලෙස සුණු විසුණු කර දැමුවේය. පන්දුව හැමවිටම ක්‍රීඩකයන් අතර හුවමාරු කළ ඇමෙරිකාව තරගය අවසානය දක්වා ප්‍රහාරය ලිහිල් කළේ නැත.

වඩාත් සංවිධානාත්මක ආරක්ෂක හැකියාවක් තිබෙන කණ්ඩායමක් ලෙස පැරගුවේ ගැන විචාරකයන් කීවත්, මේ තරගයේදී පැරගුවේ ඉතා මන්දගාමී ස්වරූපයක් ඇමරිකාව හමුවේ පෙන්නුම් කළේය.

මෙය ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ලෝක කුසලාන තරඟයකදී ගෝල 4ක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වේ.

අතීතයේදී ආරක්ෂාකාරීව ක්‍රීඩා කරමින් ප්‍රතිප්‍රහාර මත පමණක් විශ්වාසය තැබූ ඇමරිකානු කණ්ඩායම වෙනුවට, මෙවර පිටියේ දක්නට ලැබුණේ පන්දුව මනාව පාලනය කරමින් (possession) ප්‍රතිවාදියා ලුහුබඳින ආක්‍රමණශීලී නවමු කණ්ඩායමකි.

මුළු තරඟය පුරාම සාර්ථක පන්දු හුවමාරු (passes) 514ක් සිදු කරමින් සහ ප්‍රහාරක අවස්ථා රැසක් නිර්මාණය කරමින් ඇමෙරිකානු කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු මොරිසියෝ පොචෙටිනෝගේ (Mauricio Pochettino) උපක්‍රම සාර්ථක බව ඔවුහු ලෝකයටම ඔප්පු කළහ.

කෙසේ වෙතත්, මෙම ඓතිහාසික රාත්‍රියේ ප්‍රධානතම වීරයා සහ කතාබහට ලක්වුණු චරිතය වූයේ වෙන කවුරුත් නොව, ඇමරිකාවේ 24 හැවිරිදි ප්‍රහාරක ෆොලාරින් බැලෝගන් (Folarin Balogun) ය.

සංක්‍රමණිකයන්ව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කරන සමයක බැලගන් ඇමෙරිකාවටම පාඩමකුත් කියා දී ඇත.

බැලගන්

ෆොලාරින් බැලගන් යනු පාපන්දු පිටියේ තමන්ගේ දක්ෂතාවයෙන්ම අවධානය දිනාගත් අපූරු ක්‍රීඩකයෙකි.

ඔහු උපත ලැබුවේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බෘක්ලින් හිදී වුවත්, බැලගන්ට වයස මාසයක් පමණ වූ කුඩා කාලයේදීම ඔහුගේ පවුල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට සංක්‍රමණය විය. ඔහුගේ දෙමාපියන් නයිජීරියානු ජාතිකයන් වූ බැවින්, බැලෝගන්ට ජාත්‍යන්තර මට්ටමේදී එංගලන්තය, නයිජීරියාව හෝ ඇමරිකාව යන රටවල් තුනෙන් ඕනෑම රටක් තෝරාගැනීමේ අයිතිය ලැබුණි. ඔහු තෝරාගත්තේ ඇමෙරිකාවයි. ඔහු කියන විදියට එය අසීරු තීරණයක් නොවීය. ;

මේ කාලය ඇමෙරිකාවට සංක්‍රමණිකයන් ලෙස පැමිණි අයව ‘ත්‍රස්තයන්‘ ලෙස ලේබල් කරන සමයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනය සැකසී ඇත්තේ සක්‍රමණිකකයන් ගැන බිය පැතිරවීම වටාය. බැලගන් වැඩි කතා නැති ප්‍රහාරකයෙකි. ඇතැම්විට ඔහුගේ ප්‍රහාරය සංක්‍රමණිකයන්ට එරෙහිව දේශපාලන බිය පතුරවන ඇමෙරිකන් දේශපාලනයටත් එල්ල කළ ප්‍රහාරයක් විය හැක.

ඔහු එංගලන්ත ජාතික යොවුන් කණ්ඩායම් නියෝජනය කළේය. ඇමෙරිකාව තෝරගත්තේ 2023 වසරේදීය. වයස අවුරුදු 8 දී සුප්‍රකට ආර්සනල් ඇකඩමියෙන් පාපන්දු අත්පොත් තැබූ ඔහුට වෘත්තිය ක්‍රීඩාා දිවියට පිවිසෙද්දී ආසනල් කණ්ඩායමේ ස්ථානය රැකගැනීම අසීරු විය. ක්‍රීඩක හුවමාරුවකින් ප්‍රංශයේ රීම්ස් කණ්ඩායමට ගිය ඔහු එහි ගෝල‍ 21ක් ලැබීය. ඇතැම්විට ඔහුව හුවමාරු කළ ආසනල් පවා ඒ ගැන මවිත වන්නට ඇත.

එයින් පසු ඔහු ඒඑස් මොනාකෝ කණ්ඩායමට එකතු විය. මොනාකෝ වෙනම රාජ්‍යයක් වුව එරට ක්‍රීඩා සමාජ ප්‍රංශයේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිවලට ක්‍රීඩා කරයි. මොනාකෝ වෙනුවෙන් ගෝල 13ක් රැස් කළ බැලගන් සිය කණ්ඩායමේ වසරේ විශිෂ්ඨම ක්‍රීඩකයා විය.

කණ්ඩායමේ නායක ටිම් රීම් (Tim Ream) පවසන පරිදි, පුහුණුවීම් වලදී මුහුණ දීමට සිදුවන බිහිසුණුම ප්‍රහාරකයා බැලෝගන්ය. ඔහුගේ ඇදහිය නොහැකි වේගය, ශාරීරික ශක්තිය සහ ක්ෂණික චලනයන් නිසා ප්‍රතිවාදී ආරක්ෂකයින්ට ඔහුව පාලනය කිරීම අසීරු බව ටිම් රීම් කියා තිබුණි. එය සැබෑවක් බව ලෝක කුසලාන මට්ටමේදී දිස් විය.

පැරගුවේ දෙදරයි

තරඟයේ 7 වැනි මිනිත්තුවේදීම ඇමරිකාවට ගෝලයක් ලැබුණේ පැරගුවේ ක්‍රීඩක ඩේමියන් බොබඩිලා අතින් සිදු වූ ස්වයං ගෝලයකිනි (Own goal). ඉන්පසුව පිටිය සම්පූර්ණයෙන්ම තමන් සතු කරගත් බැලෝගන්, තරඟයේ 31 වැනි මිනිත්තුවේදී කණ්ඩායමේ සුපිරි තරුව වන ක්‍රිස්ටියන් පුලිසික් දුන් අපූරු පන්දු යොමු කිරීමක් (assist) මඟින් ඇමරිකාව වෙනුවෙන් සිය පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා කළේය. ඒ ඊට මොහොතකට පෙර ඔහු වාර්තා කළ ගෝලය ඕෆ් සයිඩ් නිසා අහිමි වූ පසුය.

බැලෝගන්, පළමු අර්ධයේ අතිරේක කාලයේ අන්තිම මොහොතේදී සුපිරි ප්‍රහාරයකින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කරමින් ඇමරිකාව 3-0 ක් ලෙස ඉදිරියට ගෙනාවේය.

‘කැප්ටන් ඇමරිකා’

ඇමරිකානු කණ්ඩායමේ නායකයා නොවුණත්, ක්‍රිස්ටියන් පුලිසික්ව බොහෝ දෙනෙක් හදුන්වන්නේ කැප්ටන් ඇමෙරිකා යනුවෙනි. ඔහුගේ ක්ෂණික කල්පනා කිරීම් පළමු අර්ධය පුරාම පැරගුවේ පසුපෙළ ක්‍රීඩකයන්ට දැඩි හිසරදයක් විය. ක්ෂණික පන්දු හුවමාරු ගණනාවක් ඔහු කළ අතර, තරගයේ ජයග්‍රහණය ස්ථීර වූ පසු ඔහුව දෙවැනි අර්ධයේදී තරගයට එකතු කර නොගැනීමට ඇමෙරිකානු කළමණාකරු වන පොචෙටිනෝ තීන්දු කළේය.

පැරගුවේ ගෝල් එක

මුළු තරගය පුරාවට පැරගුවේට සතුටු විය හැකි එකම මොහොත මරීෂියෝ විසින් 73 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨ විය.

තරඟයේ අවසාන තත්පරයේදී, එනම් 90+7 මිනිත්තුවේදී, ජියෝවානි රෙයිනා අතිවිශිෂ්ඨ ගෝලයක් එල්ල කළේය. රෙයිනා පහුගිය ලෝක කුසලානයේදී විශාල ආන්දෝලනයට ලක් වුණේ විනය ගැටලු නිසාය. නිසි ලෙස පුහුණුවීම්වලට සහභාගී නොවීම නිසා සමාජ මාධ්‍යවල පවා ඔහු ගැන කතා විය. තවමත් ඒ ආන්දෝලනයේ හොල්මන් ඔහු පසුපස පන්නයි. එහෙත් ලෝක කුසලානයට පෙර ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ දැන් තමන් වෙනස් වී සිටින බවයි. දැන් තමන් විවාහ වී සිටින බවත්, බල්ලෙකුත් ඉන්න බවත්, ඒ නිසා තමන් වෙනස් බවත් ඔහු කියා තිබුණි.

රෙයිනාට මේ ගෝලයෙන් පව් සෝදාගැනීමට අවස්ථාවක් ලැබුණා විය හැක.

ඇමෙරිකාවේ මීළග තරගය ඊළග සිකුරාදා ඕස්ට්‍රේලියාවට එරෙහිවය. සාපේක්ෂව ඕස්ට්‍රේලියාව ශක්තිමත් කණ්ඩායමක් වුව මේ මට්ටමෙන් ඇමෙරිකාව ශක්තිමත් ලෙස සිටියොත් ඒ අභියෝගය ජයගැනීම අසීරු නොවනු ඇත. එපමණක් නොව දැනට පෙනෙන ආකාරයට ඇමෙරිකාවට අර්ධ අවසාන පූර්ව තරගයේදී ස්පාඤ්ඤය හෝ පෘතුගාලය වැනි රටක් මුණගැසෙනතුරු ඉදිරියට යෑමට සැලකිය යුතු අවස්ථාවක් තිබේ. ඔවුන්ව ඇත්තටම පරීක්ෂාවට ලක් වනු ඇත්තේ එවැනි මොහොතකය.

Author

1 Comment

  • Please post the democracy of the American government fairly. They are against illegal immigrants and immigrants who violate American laws so as a fair journalistic platform try to keep a balanced view even though tharindu is a leftist and has anti American views. Just be fair

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading