ශ්‍රී ලාංකික පාපන්දු ලෝලීන්ටත් නිදි වර්ජිත මාසයක් උදා කරමින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඊයේ මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ ඇස්ටෙකා (Azteca) ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් ලෙස ආරම්භ විය.
ශකීරා (Shakira) සහ බර්නා බෝයි (Burna Boy) ගේ සංගීත රාවයන්, අහසට විසිවන ‘සොම්බ්‍රේරෝ’ තොප්පි සහ බියර් වැසි මැද, 94,000කට අධික ප්‍රේක්ෂක ගඟක් ඉදිරියේ සත්කාරක මෙක්සිකෝව 2-0ක් ලෙස 2010 සත්කාරකයන් වූ දකුණු අප්‍රිකාව පරාජය කළේය.
කෙසේ වෙතත්, මෙය සාමාන්‍ය තරගයක් නොවීය. භූ දේශපාලනික අර්බුද, ෆීෆා සංවිධානයේ අඩුපාඩු සහ ක්‍රීඩාංගණයෙන් පිටත පැවති දැඩි මාර්ග තදබදය යන සියල්ල, විනිසුරුගේ පළමු නළා හඬත් සමඟ යටපත් වී ගියේ පාපන්දු නමැති මහා ආගමට මුළු ලෝකයම නතු කරමිනි. පේලේ සහ මැරඩෝනා වැනි දැවැන්තයින් සිය අණසක පැතිරවූ ඓතිහාසික ඇස්ටෙකා ක්‍රීඩා පිටිය යළිත් වරක් ඉතිහාසය අලුත් කළේය.
නවවැනි මිනිත්තුව
තරගය ආරම්භ වී මිනිත්තු 9ක් ගතවන තැන දකුණු අප්‍රිකානු ගෝල රකින්නා සහ පසුපෙළ ක්‍රීඩක ස්පෙෆෙලෝ සිතෝල් (Sphephelo Sithole) අතර වූ අතිශය දුර්වල පන්දු හුවමාරුවකින් ප්‍රයෝජන ගත් ජූලියන් ක්විනෝනෙස් (Julian Quinones), පන්දුව දැලට යොමු කරමින් මෙවර ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කළේය. 29 හැවිරිදි ක්විනෝනෙස්ගේ කතාව අපූරු එකකි.

කොලොම්බියාවේ ඉපිද හැදී වැඩුණු ඔහු, කිසි දිනෙක එරට ජාතික කණ්ඩායම නියෝජනය කර නොතිබුණි. 2016 සිට මෙක්සිකානු සමාජ ශාලාවල ක්‍රීඩා කළ ඔහු, 2023 දී මෙක්සිකෝ පුරවැසිභාවය ලබා ගත් අතර, අද වන විට ලෝක කුසලානයක පළමු ගෝලය ලබා ගත් පේලේ ඇතුළු දැවැන්තයින්ගේ ලැයිස්තුවට තම නම ද එක්කර ගැනීමට සමත් වී ඇත.
කදුළින් අහස බැලීම
තරගයේ හැඟීම්බරම අවස්ථාව උදා වූයේ 67 වැනි මිනිත්තුවේදීය. රොබර්ටෝ අල්වරාඩෝගේ හරස් පන්දුවකට සාර්ථකව හිසින් පහර දුන් අත්දැකීම්වලින් පිරි ප්‍රහාරකයා වූ රාවුල් ජිමිනෙස් (Raul Jimenez) මෙක්සිකෝවේ දෙවන ගෝලය වාර්තා කළේය.
ගෝලය ලබා ගැනීමෙන් පසු ඔහුට තම කඳුළු පාලනය කර ගත නොහැකි විය.
2020 වසරේදී වුල්ව්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී ඩේවිඩ් ලුයිස් සමඟ ගැටීමෙන් ජිමිනෙස්ගේ හිස් කබල බරපතළ ලෙස කැඩී ගිය අතර එය මාරාන්තික අනතුරක් විය.
එතැන් පටන් විශේෂ ආරක්ෂිත හිස් ආවරණයක් පැළඳ ක්‍රීඩා කරන ඔහු, මෑතකදී මියගිය සිය ආදරණීය පියා වෙනුවෙන් මෙම සුවිශේෂී ලෝක කුසලාන ගෝලය අහස දෙස බලමින් කැප කළේ ක්‍රීඩාංගණයේ සිටි බොහෝ දෙනෙකුගේ දෙනෙත් කඳුළින් තෙත් කරමිනි.
රෙඩ් කාඩ් තුනක්
දකුණු අප්‍රිකාවට මෙම තරගය කිසිසේත්ම සුබදායක එකක් නොවීය. මෙය මෑත ඉතිහාසයේ ලෝක කුසලාන සමාරම්භක තරගයකදී කණ්ඩායමක් දැක්වූ දුර්වලම ක්‍රීඩා විලාසය විය හැකිය. පළමු ගෝලයේ වරදකරු වූ සිතෝල්ගේ කටුක අත්දැකීම තවත් තීව්‍ර කරමින්, 50 වැනි මිනිත්තුවේදී ෆවුල් එකක් හේතුවෙන් ඔහුට රතු කාඩ්පතක් ලබා ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදුවිය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විනය තවත් පිරිහෙමින් 84 වැනි මිනිත්තුවේදී තම ප්‍රතිවාදියාගේ මුහුණට පහර දීම හේතුවෙන් ස්වානේටද (Zwane) රතු කාඩ්පතක් හිමි වූ අතර කණ්ඩායම ක්‍රීඩකයින් 9 දෙනෙකුට සීමා විය. කෙසේ වෙතත්, තරගයේ අතිරේක කාලයේදී (90+3) මෙක්සිකෝවේ මොන්ටෙස්ට ද (Montes) රතු කාඩ්පතක් හිමිවීමත් සමඟ තරගය පුරා නිකුත් වූ රතු කාඩ්පත් ප්‍රමාණය තුනක් දක්වා ඉහළ ගියේය.
තරගය 2-0ක් ලෙස නිමාවට පත් වුවද, සත්කාරක මෙක්සිකෝව මීට වඩා ගෝල ලබා ගත යුතුව තිබූ බව ඇතැම් විචාරකයින්ගේ මතයයි.
එහෙත් ආරම්භක තරගයේ පීඩනය ජය ගනිමින් ජයග්‍රහණයකින්ම තරගාවලිය ආරම්භ කිරීමට ඔවුන්ට හැකි වීම විශාල ජයග්‍රහණයකි.
