ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු උපරිමාධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින්, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද විශේෂ ලිපියක් අද (12) පාර්ලිමේන්තු කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.
කතානායකවරයා වෙත භාරදුන් ලිපිය මඟින් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ, ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, මෙම බරපතළ කරුණ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට කටයුතු කළ යුතු බවයි. උපරිමාධිකරණයේ විනිසුරු පත්වීම් දිගින් දිගටම ප්‍රමාද වීම තුළින් සමස්ත යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට ද අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
ඔවුන් ලිපිය මඟින් ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 බැගින් දීර්ඝ කාලයක් තිස්සේ නොපුරවා තැබීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තිය උල්ලංඝනය කරන ව්‍යවස්ථා විරෝධී ප්‍රමාදයක් බවයි. මෙම පුරප්පාඩු පිළිබඳව ගරු අග්‍රවිනිශ්චයකාරවරයා විසින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිල වශයෙන් දැනුවත් කර තිබේද යන්න සොයා බලන ලෙසත්, නැතහොත් ඊට හේතු විමසන ලෙසත් එහිදී ඉල්ලා සිටී.
මෙම අඛණ්ඩ පත්වීම් ප්‍රමාදය නිසා උසස්වීම් අපේක්ෂාවෙන් සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ වෘත්තීය ප්‍රගතිය අඩාල වී ඔවුන් අධෛර්යමත් වන අතර, එය ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති “නීතියේ සමාන ආරක්ෂාව” පිළිබඳ බරපතළ ගැටලුවක් මතු කරයි. පුද්ගලික මට්ටමේ බලපෑම්වලින් ඔබ්බට යමින්, මෙලෙස විනිසුරුවරුන් හිඟවීම හේතුවෙන් දැනට සිටින විනිසුරුවරුන්ගේ වැඩකටයුතු අධික වී සමස්ත අධිකරණ පරිපාලනයේ කාර්යක්ෂමතාව බිඳ වැටෙන අතර, එමඟින් ව්‍යවස්ථාවේ 4(ඇ) වගන්තිය ප්‍රකාරව ජනතාවට ඵලදායී ලෙස යුක්තිය ඉටුකිරීමට ඇති මහජන විශ්වාසය ද බරපතළ ලෙස පළුදු වන බව විපක්ෂ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම ලිපිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර ද අත්සන් තබා ඇත.
