ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
මේ වන විට ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගැනිමේ බලාපොරොත්තුව ඔහු තවත් වර්ධනය කර ඇත.
මෙරට වේලාවෙන් ඊයේ (4) රාත්‍රියේ පැවති මෙම ඉසව්වේදී රුමේෂ් තරංග මීටර් 92.62ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී දක්ෂතාව වාර්තා කළේය.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ඔහු මේ දක්ෂතාව දැක්වුවේ නම්, ඔහු රිදී පදක්කමක් ලබා ගැනීමට ඉඩ තිබුණි.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් මීටර් 92.97ක අතිදැවැන්ත ඔලිම්පික් වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගත්තේය. එහිදී රිදී පදක්කම දිනූ ඉන්දියාවේ නීරාජ් චොප්රා ලබාගත්තේ මීටර් 89.45ක දක්ෂතාවකි. එබැවින් රුමේෂ් එහිදී මීටර් 92ක දක්ෂතාවක් දැක්වූයේ නම් නීරාජ් චොප්රා අභිබවා යමින් ඉතා පහසුවෙන් රිදී පදක්කම සතු කරගනු ඇත.
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ නීරාජ් චොප්රාගේ උපරිම දක්ෂතාවය වූයේ මීටර් 87.58කි. එහි රිදී පදක්කම මීටර් 86.67කටත් (යාකුබ් වඩ්ලේජ්), ලෝකඩ පදක්කම මීටර් 85.44කටත් (විටෙස්ලාව් වෙසෙලි) සීමා විය.
එබැවින් රුමේෂ් මීටර් 92ක් වැනි ඉහළ දක්ෂතාවයක් එදා දැක්වූයේ නම්, ඔහු අනෙක් සියලුම ක්‍රීඩකයන්ට වඩා මීටර් 4කටත් වඩා ඉදිරියෙන් සිටිමින් ඉතා සුවිශේෂී ලෙස ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් මෙම සංසන්දනය සිදු කරන්නේ ඒ ඒ කාලවල මෙම ඉසව්වේ තාක්ෂණය යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් නොවේ.
කෙසේ වෙතත්, මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ සිටින ලෝකයේ බලාපොරොත්තු සහගතම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා රුමේෂ් තරංගය. ඔහුට වඩා ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ සිටින ක්‍රීඩකයන් වයසින් සහ අත්දැකීම්වලින් වැඩි නමුත් 2028 ඔලිම්පික් තරග පැවැත්වෙන කාලය වන විට රුමේෂ්ට නිසි වයස සහ අත්දැකීම් යන දෙකම ලැබෙනු ඇතැයි විශ්වාස පළ කෙරේ.

ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන පෙර කී රෝම තරගාවලියේදී 23 හැවිරිදි රුමේෂ් දැක්වූ දක්ෂතාව, නව තරගාවලි වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම විය.
රුමේෂ් මෙහිදී අබිබවා යනු ලැබුවේ මීට වසර 20කට පෙර එනම්, 2006 දී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.34 ක දුරක් විසිකරමින් පිහිටුවා තිබූ තරග වාර්තාවයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු හා එකම අවස්ථාව මෙය වන අතර, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව වේ.
එහි පෙරමුණේ පසුවන පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් අවසන්වරට පැවති පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 92.97ක දක්ෂතාවක් දැක්වූ අතර, ඔහු හා රුමේෂ් අතර ඇත්තේ සෙ.මී. 35ක් වැනි සුළු වෙනසකි.
එමෙන්ම හෙල්ල විසිකිරීමෙන් මීටර් 90 සීමාව පසු කළ සිව්වන ආසියානුවා ඔහුය. රුමේෂ්ට පෙර චීන තායිපේ හි චෙං චාඕ-සුන් (මීටර් 91.36), ඉන්දියාවේ හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර නීරාජ් චොප්රා (මීටර් 90.23) එම දක්ෂතාව දක්වා තිබුණි.
තවද රුමේෂ්ගේ මෙම දක්ෂතාව ලෝක හෙල්ල විසිකිරීමේ වාර්තා අතර ලොව 8වැනි හොඳම විසිකිරීම විය.
රුමේෂ් තරංගට මීළඟ ඔලිම්පික් උළෙලකදී රන් පදක්කමක් පවා දිනාගැනීමේ ඉතා ඉහළ සහ පැහැදිලි අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන රුමේෂ්, ක්‍රීඩකයෙකුගේ උපරිම දක්ෂතා වර්ධනය වන වයස් සීමාවට එළඹෙන විට තවදුරටත් ශාරීරිකව සහ තාක්ෂණිකව ශක්තිමත් වනු ඇත.
එබැවින්, ඉදිරි වසරවලදී මෙම ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර තරග පීඩනය කළමනාකරණය කරගතහොත්, ශ්‍රී ලංකාවට ඉතිහාසයේ මුල්ම වතාවට ඔලිම්පික් රන් පදක්කමක් ගෙන ඒමේ ප්‍රධානතම බලාපොරොත්තුව රුමේෂ් තරංග වේ.
