ලොව පුරා කෝටි සංඛ්‍යාත පාපන්දු ප්‍රේක්ෂකයින් වසර හතරක් පුරා මඟ බලා සිටි ලෝක ක්‍රීඩා ලෝලීන්ගේ හද ගැස්ම එකම රිද්මයකට පදම් කරන, 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය අද (ජූනි 11) උතුරු ඇමෙරිකානු මහද්වීපය සිපගනිමින් නිල වශයෙන් ඇරඹේ. නිල වශයෙන් ආරම්භ වේ.
සීමා මායිම්, ජාති භේද පරයා නැඟෙන මේ මහා ක්‍රීඩා ආනන්දය, මෙවර තරඟාවලිය ඉතිහාසයට එක්වන්නේ රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ලෝක කුසලානය ලෙසයි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව කේන්ද්‍ර කරගනිමින් අද සිට ජූලි 19 දක්වා පුරා දින 39 ක් තිස්සේ මෙම පාපන්දු සටන පැවැත්වේ.
මෙවර තරඟාවලිය වර්ණවත් වන්නේ වෙනදා නුහුරු, එහෙත් අතිශය දැවැන්ත ආකෘතියකිනි. පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ විවිධ කලාප නියෝජනය කරමින් රටවල් 48 ක් මෙවර මහා කුසලානය උදෙසා සටන් වදිති. ඔවුන් ‘A’ සිට ‘L’ දක්වා කාණ්ඩ 12 කට බෙදා ඇත්තේ සෑම කාණ්ඩයකටම කණ්ඩායම් 4 බැගින් ඇතුළත් වන පරිදිය. මෙම ව්‍යුහාත්මක වෙනස නිසා පෙර පැවති තරඟ 64 සීමාව අභිබවා යමින්, ප්‍රේක්ෂකයින්ට මෙවර සමස්ත තරඟාවලිය පුරා අතිශය උණුසුම් සහ තියුණු තරඟ 104 ක් නැරඹීමේ අද්විතීය අවස්ථාව උදාවේ.
මෙවර තරඟාවලියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ උස්බෙකිස්තානය, ජෝර්දානය, කුරකාඕ සහ කේප් වර්ඩ් යන රටවල් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන සිහිනය සැබෑ කරගනිමින්, නවක මුහුණු ලෙස මේ මහා පාපන්දු සැණකෙළිය හැඩ කිරීමට සුදුසුකම් ලබා සිටීමයි.
ලෝක කුසලාන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ, මෙක්සිකෝ සිටි නුවර පිහිටි අභිමානවත් ක්‍රීඩාංගණයේදී අද දින උත්කර්ෂවත් සමාරම්භක උළෙල පැවැත්වෙන අතර, ඉන් අනතුරුව පළමු මහා සටනේ නළා හඬ ද නාද වනු ඇත.
අද දින ඇරඹෙන මෙම මහා පාපන්දු සැණකෙළියේ නෙත් ඇදගන්නා සමාරම්භක ගැටුම් ද්විත්වයම ‘A’ කාණ්ඩයෙන් (Group A) ආරම්භ වීම විශේෂත්වයකි. ඒ අනුව, සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු තරඟය, අතීත මතකයන් අලුත් කරමින් සත්කාරකයින්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ‘මෙක්සිකෝ සිටි’ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, වේගය සහ උපක්‍රම මුසු වූ දකුණු කොරියාව සහ චෙක් ජනරජය අතර අනෙක් තියුණු තරඟය ‘ග්වාඩලහාරා’ පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම උණුසුම තවදුරටත් වර්ධනය කරමින්, ජූනි 12 වනදා වන විට සෙසු සත්කාරක රාජ්‍යයන් වන කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද තම මාතෘභූමියේ අභිමානය වෙනුවෙන් ප්‍රථම වරට තරඟ බිමට පිවිසීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
විවිධ සංස්කෘතීන්, භාෂාවන් සහ ක්‍රීඩා විලාසයන්ගෙන් සුසැදි මේ මහා සැණකෙළිය නගර 16 ක පිහිටි අති නවීන ක්‍රීඩාංගණ 16 ක් පුරා විහිදී යයි. ලෝක ශූර ආර්ජන්ටිනාව සිය කිරුළ රැකගැනීමේ අභිලාෂයෙන් පසුවන අතර, බ්‍රසීලයේ සාම්බා රිද්මය ද, ප්‍රංශයේ සහ එංගලන්තයේ යුරෝපීය ප්‍රවේගය ද මේ හරිත පිටි මත මුසුවනු ඇත.
අවසානයේ, ලෝකයේ ඉහළම ගෞරවය දිනාගන්නා රන් කුසලානයේ හිමිකරුවා කවුරුන්දැයි තීරණය කෙරෙන මහා අවසාන තරඟය ජූලි මස 19 වනදා ඇමෙරිකාවේ නිව් ජර්සි හී MetLife ක්‍රීඩාංගණයේදී අතිවිශාල ප්‍රේක්ෂක ජනකායක් ඉදිරියේ පැවැත්වෙනු ඇත.
වත්මන් පාපන්දු ක්‍රීඩාව යනු හුදෙක් ශාරීරික දක්ෂතාවය මතම පමණක් රඳා පවතින්නක් නොව, ඉහළම තාක්ෂණයේ සුසංයෝගයෙන් හැඩගැසුණු නවීන විද්‍යාවකි. මෙවර ලෝක කුසලානය සඳහාද භාවිත වන නිල පාපන්දුව මේ සඳහා කදිම නිදසුනක් වන අතර, එය සැබවින්ම දියුණු තාක්ෂණික මෙවලමකි.
මෙම පන්දුව අභ්‍යන්තරයේ සවිකර ඇති අධි-වේගී සංවේදක (Sensors) සහ ක්ෂුද්‍ර චිප (Microchips) මඟින්, පන්දුවේ වේගය, ගමන් පථය සහ එය ක්‍රීඩකයෙකුගේ පයේ ගැටෙන නිශ්චිත නිමේෂය පිළිබඳ දත්ත තත්පරයකින් සියයෙන් පංගුවක නිරවද්‍යතාවයකින් යුතුව සජීවීව පාලක මැදිරිය වෙත නිකුත් කරයි. මෙමඟින් විනිසුරුවරුන්ට සහ ‘VAR’ (Video Assistant Referee) තාක්ෂණයට අතිශය සංකීර්ණ ඕෆ්සයිඩ් අවස්ථා සහ ගෝල සීමා තීරණ කිසිදු දෝෂයකින් තොරව, ක්ෂණිකව ලබාදීමට හැකියාව ලැබී ඇත.

