(දිනමිණේ පළ වූ ලිපියකි.)
වැඩිහිටියන් 12 දෙනකුට ජීවිත අහිමි කරමින් ගිනිබත් වූ බටගොඩ ‘මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල’ නිවාසය රජයේ කිසිදු ආයතනයක ලියාපදිංචි කර නොමැති බවට තොරතුරු අනාවරණය වේ.

වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුන් මහතාගෙන් ‘දිනමිණ’ ඊයේ (04) කළ විමසීමකදී පැවසුවේ එලෙස කිසිදු ආයතනයක ලියාපදිංචි නොකර හා රජයේ නිසි මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි මේ නිවාසය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අඟුරුවාතොට පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බවයි.
වැඩිහිටියන්ට නේවාසික සත්කාරය සපයන ආයතනයක් පිහිටුවා පවත්වාගෙන යන්නේ නම් සහ එවැනි ස්ථානයක පුද්ගලයන් 05ට වැඩි පිරිසක් නේවාසිකව සිටින්නේ නම් එම ආයතන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරිම නීතිමය පසුබිම වේ.
2011 අංක 05 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතින් සංශෝධිත 2000 අංක 09 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතෙහි 16 (1) වගන්තිය අනුව ඒ සඳහා නීතිමය පදනම සකස් කර ඇත.
ඒ අනුව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ලේකම් කාර්යාලය, බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන කිසිදු ආයතනයක මෙම නිවාසය ලියාපදිංචි කර නොමැත.
ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ මෙහි පුද්ගලයන් 70ක් පමණ නේවාසිකව සිට ඇත. ඔවුන්ගෙන් පුද්ගලයන් 62ක් මානසික ආබාධ සහිතවූවන් වන අතර ඉන් 08ක් වැඩිහිටි පුද්ගලයන්ය. මෙම ආයතනයේ හිමිකරු ද ඇතුළුව තවත් පුද්ගලයන් පස්දෙනෙක් සේවය කර ඇත. මේ නිවාසයේ හිමිකරු ඉසුරු අනුෂ්ක පෙරේරා නමැත්තෙකි.
ගින්නෙන් තුවාල ලද කාන්තාවන් 3ක් සහ පිරිමි 4දෙනකු රෝහල්ගත කර ඇති අතර 50 දෙනකු බටගොඩ පාසලෙහි දැනට නේවාසිකව රඳවා සිටිති.
මෙහි ගින්නෙන් මේ වන විට දෙදෙනෙක් අතුරුදන්ව ඇති අතර නිවාසයේ සිටි වැඩිහිටි කාන්තාවන් 04ක් සහ පිරිමින් 04ක් කතරගම සිල්වර් ඒජ් සෙන්ටර් වැඩිහිටි රැකවරණ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
අනෙකුත් මානසික ආබාධ තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ගේ භාරකරුවන් පැමිණ ඔවුන් රැගෙන යන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමටත්, ඉතිරිවන පිරිස රජයේ ලියාපදිංචි ආබාධිත සහිත තැනැත්තන් රඳවා තැබීමේ නිවාස වෙත ඇතුළත් කිරීමටත් තීරණය කර ඇත.
“අපි හරිම අමාරුවෙන් බේරාගත් කාන්තාවක් “අනේ මගේ මාලේ වැටිලා, ඒක ඕනේ” යැයි කියමින් නැවත ගිනිගෙන ඇවිළෙන ගේ ඇතුළට ගියා. අවසානයේ ඇයත් ගින්නට හසුව මියගොස් සිටියේ යැයි බටගොඩ ගල්පාත, මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසය ගිනි ගන්නා අවස්ථාවේදී සිද්ධිය මුලින්ම දැක උදව්වට පැමිණ සිටි ප්‍රදේශවාසියකු පැවසුවේය.
අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති වූ ඔහු පැවසුවේ නිවෙස ඉදිරිපස දොර ජනෙල් අගුළු දමා වසා තිබූ නිසා නිවෙසේ පිටුපසින් ගොස් ගින්නට අසුව සිටි හත් අටදෙනකු ඉතා අසීරුවෙන් බේරාගෙන පිටතට ගත් බවයි. එසේ බේරා ගත් කාන්තාවක් මාලේ වැටිලා” යැයි කියා නැවත ඇතුළට ගොස් තිබුණු බවද හෙතෙම කීවේය.
වෙසක් සඳ පායා මැකී යෑමටත් ප්‍රථම අඟුරුවාතොට, බටගොඩ, ගල්පාත මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසය දෙසින් ඇසුණේ හද කම්පා කරවන විලාප හඬකි.
පෙරේදා (03) සවස 5ත් 6ත් අතර කාලයේදී එම නිවස්නය ගින්නකට හසුවීමෙන් එහි වෙසෙන මානසික ආබාධ සහිත වූවන්ගේ ඒ විලාපයෙන් මුළුමහත් බටගොඩ ගම්මානයම මහත් භීතියකින් වෙලී ගියේය. එහිදී මේ මේ සිද්ධිය මුලින්ම දුටු ඔහු මෙසේද කීවේය.
“අපි කලින් දවසේ මේ නිවාසයේ 72 දෙනකුට දානයක් ගෙනාවා. මං එනකොටත් ගින්න පටන් අරන් විනාඩි 05ක් 10ක් වගේ කාලයක් ගතවෙලා. ඉස්සරහ සේරම යතුරු දාලා දොර ජනෙල් වහලා තිබුණේ. ඉස්සරහම දඟල දඟල එක්කෙනෙක් කෑගහමින් හිටියා. මේ නිවාසයේ බිමට මෙට්ට දාලා තමයි මේ අය ඉඳලා තියෙන්නේ. මරළතෝනි තිය තියා මනුස්සයෝ පණපිටින් පිච්චෙනවා මගේ ජීවිතේට මම දැක්ක පළවැනි වතාව මෙයයි. ඇවිදින්න බැරි තුන්දෙනකුත් ඉස්සරහම හිටියා. මගෙ කෑගැහිල්ලට අවට අයත් ආවා. අපි පිටිපස්ස පැත්තෙන් ගිහින් හරිම අමාරුවෙන් තමයි හත් අට දෙනෙක් බේරගත්තේ. ඒ වෙනකොටත් කිට්ටු වෙන්නත් බැරි තරම් ගින්දර ඇවිළෙනවා. අපි බේරගෙන මිදුලට ගෙනාව එක ගෑනු කෙනෙක් අනේ මගේ මාලේ ගේ ඇතුළේ වැටිලා කියලා ආපහු ගේ ඇතුළට දුවලා ගිහින් තිබුණා. එයත් ඉතින් මාලේ හින්දා පිච්චිලා ගියා. ගෑස් එකත් පස්සේ පුපුරලා තිබුණා.”
මෙම සිද්ධියෙන් මියගිය 25 හැවිරිදි තරුණියක වන ධනුෂ්කි ශශීපබාගේ ඥාතියකු මෙසේ පැවසීය.
“අපි අම්බලන්ගොඩ. facebook එකෙන් දැකලා තමයි අපේ අක්කගේ දුවව මෙහාට බාර දුන්නෙ. අක්කා රට ගිය හින්දා තමයි මෙහෙට දරුවා බාර දුන්නේ. අපි මෙතැනට මාසෙට තිස්පන්දාහක් ගෙවනවා. ඊට අමතරව බෙහෙත් ගන්න කියලා කියන කියන වෙලාවට විසි තිස් දාහක් වගේ කියන කියන ගණන් දෙන්න ඕනෑ. අපි එයාව බලන්න එනවා නම් එයාලට කලින් දැනුම් දීලා අවසර අරන් එන්න ඕනෑ. එතකොට හොඳට සෝදලා පිරිසුදු කරලා තියෙනවා. නැත්නම් අනිත් දවසට කිසි පිරිසුදුකමක් නෑ. ඇතැම් අය දම්වැල් දාලා බැඳලා තියනවා. මේගොල්ලෝ කරන්නෙ බැරි අයව පැත්තකටම දාලා තියලා, ටිකක් කතාබහ කරන්න ඇවිදින්න පුළුවන් අයව එළියට අරගෙන වීඩියෝ කර කර ෆේස්බුක් දාලා හම්බ කරන එකයි.”
සිය ඥාතියා බැලීමට එම ස්ථානයට පැමිණ සිටි තවත් අයෙක් මෙසේ කීය.
“ඇතුළත්වීමේ ගාස්තු කියලා 75000ක් ගත්තා. මෙතැනට මගේ අක්කාගේ පුතා ඇතුළත් කරලා මාස හත අටක් වෙනවා. 35000ක් හැම මාසෙම 25 වැනිදා ඒ අයගේ එකවුන්ට් එකට අක්කා දානවා. ඕන වෙලාවක බලන්න බැහැ. මාස් පතා බලන්න දෙනවා. එයා කලහකාරී වගේ හැසිරෙන නිසා ඕන වෙලාවක බලන්න එන්න එපා කිව්වා. නැත්නම් අපිට ඇවිත් බලලා යන්න පුළුවන්.
සිද්ධිය වෙන අවස්ථාවේ මෙම ආයතනයේ පාලකයන් සිට නොසිටි අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් ඇති දෙමහල් නිවෙසක ඔවුන් සුවසේ රාත්‍රිය ගත කරන බවයි. මීට අමතරව වෛද්‍යවරයෙක්, හෙදියක්, ගිලන් රථයක් ඇතුළු මානසික ආබාධ සහිත පුද්ගලයන්ට රැකවරණය ලබාදෙන මෙවැනි ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කිසිදු පහසුකමක් මෙම ආයතනය තුළ නොමැති බව ද ප්‍රදේශවාසීන් පවසන්නේ දැඩි කෝපයෙනි.
ගින්න පැවති අවස්ථාවේ හොරණ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙක පැමිණ ගින්න මැඬපැවැත්වීමට කටයුතු කර ඇති අතර ජලය මදි වී නැවත රැගෙන ඒමට යෑම නිසා ගින්න නිවීමේ කටයුතු ප්‍රමාද වූ බව ද ප්‍රදේශවාසීහු පවසති. තරුණ පිරිස් දුම් කවුළුව උඩට නැඟ මහත් පරිශ්‍රමයක් දරා ජල බටවලින් ගින්න නිවීමට උත්සාහ කර ඇති අතර රාත්‍රී දහය පමණ වන තුරුම ගින්න මැඬපැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දරා තිබෙන බව අනාවරණය වී තිබේ.
දම්වැල්වලින් බැඳ දමා තිබූ අය මෙන්ම ගින්නට හසුවූ පුද්ගලයන් දැවී අඟුරු වී සුන්බුන් අතර සිරවී තිබෙන අයුරු දැක ගැනීමට හැකිව තිබිණි. එම අවස්ථාවේ සුන්බුන් අතර හත් අටදෙනකුගේ සිරුරු දැක ගැනීමට හැකිව තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලට තුවාලකරුවන් අට දෙනකු රැගෙන ගොස් ඇති අතර මේ වන විට ඉන් දෙදෙනකු මියගොස් ඇති බව අනාවරණ වී තිබේ.
ගිනිගත් නිවෙසේ තිබී මළසිරුරු දහයක් සොයා ගත් අතර ඉන් නවයක් කාන්තාවන්ය. මේ සිරුරු අතර පිලිස්සී මියගිය පූසකු ද සොයා ගැනිණි.

කෙසේ වෙතත් ගිනිගැනීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව ආරක්ෂක අංශ පවසයි. මෙම නිවාසයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි එක් වැඩිහිටි කාන්තාවක් වෙනම කුටියක රඳවාගෙන මේ වන විට ඇඟෙන් සිද්ධිය පිළිබඳ කටඋත්තර ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි.
මේ නිවාසයේ රඳවා සිටි දුව, පුතා, මව, පියා හෝ ඥාතියා ගැන තොරතුරු දැන ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි පිරිස් පාලනාධිකාරියේ නිලධාරීන් සමඟ තර්ක කරමින් සිටින අතර ඔවුන්ගේ උත්සාහය වන්නේ සිය ඥාතියා මියගියාද නැද්ද යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීමය.
හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර මළ සිරුරු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළාය.
මෙහි රැඳී සිටි අනෙකුත් පිරිස බටගොඩ පාසලේ රඳවා තිබෙන අතර එහි සිටින වයෝවෘද්ධ පිරිසගේ මානසික තත්ත්වය සමනය කිරීම සඳහා පොලිසීය කටයුතු කරමින් සිටියි.
ඇතැම් අය මෙය මුදල් ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යන්නක් බවත් තවත් අය මෙය වයෝවෘද්ධ මානසික අවශ්‍යතා ඇති අය සඳහා පවත්වාගෙන යන්නක් බවත් පවසති. කෙසේ වෙතත් මෙවැනි ආයතන පවත්වාගෙන යන්නේ නම් ඒවා රජයේ ලියාපදිංචි කර ඒ මාර්ගෝපදේශ යටතේ පවත්වා ගෙන යා යුතුයි. එම අයට අවශ්‍ය වෛද්‍යවරයකු, ආරක්ෂකයකු සිටිය යුතුයි. එමෙන්ම හදිසි අවශ්‍යතාවකදී එය පාලනය කර ගැනීමට ක්‍රම තිබිය යුතුයි.
වැඩිහිටියන් යනු ආරක්ෂාව සහ ආදරය අවශ්‍යම පිරිසකි. විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති මෙවැනි වැඩිහිටියන් තවත් ආරක්ෂා කර ගත යුතුයි. මේ වැඩිහිටියන්ගේ මරණය අපට කියාදෙනු ලබන්නේ නිරන්තර නීරීක්ෂණය මේ අයට වඩාත් අවශ්‍ය බවය.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ මහතා විසින් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකරන ලද අතර පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්, රස පරීක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.
වැඩිහිටි නිවාසයේ හිමිකරු 11 දක්වා රිමාන්ඩ්
ජීවිත 12ක් බිළිගනිමින් හොරණ, මිල්ලනියේ පිහිටි ‘මාපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානය තුළ සිදුවූ ගින්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලීසිය එහි හිමිකරු මෙන්ම අධ්‍යක්ෂවරයකු බව කියන ඉසුරු ධනුෂ්ක පෙරේරා නමැති 38 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 298 වගන්ති ප්‍රකාරව අපරික්ෂාකාරී ලෙස ක්‍රියා කිරීම මඟින් මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැවසීය.
ගින්න හට ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් අනාවරණය වී නැති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අංශයේ නිලධාරීන් පැමිණ සියුම් විමර්ශනයක් ද මේ සම්බන්ධයෙන් සිදුකර තිබේ. එම වාර්තා ලැබුණු පසු පැහැදිලි යමක් ගින්න ගැන සඳහන් කළ හැකි බව පානදුර කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා පැවසීය.
වැඩිහිටියන් විශාල පිරිසක් මෙහි රදවා සිටියත් හදිසි ගිනි ගැනීමකදී එය පාලනය කිරීමට අවශ්‍ය අවම ආරක්ෂක උපාංග කිසිවක් පවා මෙහි තිබී නැතැයි විමර්ශනවලින් අනාවරණ වී තිබේ.
බුද්ධිමය ආබාධ සහිත වැඩිහිටියන් 72ක් තරම් විශාල පිරිසක් මෙම ස්ථානයේ රඳවාගෙන රැක බලා ගැනීමකදී ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මිණි රණවක මහත්මිය පැවසුවාය. මෙම ගොඩනැඟිල්ලෙහි ඉඩකඩ සැලකිල්ලට ගැනීමේදී පවා බුද්ධිමය ආබාධ සහිත වැඩිහිටියන් 72ක් තරම් පිරිසක් පහසුවෙන් රඳවා තබා ගැනීමට හැකියාවක් තිබේදැයි ගැටලුවක් මතුවන බවද ඇය කීවාය.

මෙම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා විසින් පාලනය කරන කළුතර, සේරුපිට සහ ගල්පාත ප්‍රදේශවල ද තවත් මෙවැනිම මධ්‍යස්ථාන 02ක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරිය පැවසුවාය.
ගින්න හටගන්නා අවස්ථාවේදී මෙහි 72 දෙදෙනක් සිටි බව මුලදී සඳහන් වූවත් සැබෑ ලෙසම සිට ඇත්තේ 71 දෙනෙක් පමණක් බව පොලීසිය සඳහන් කරයි. ඊට පෙර දින මෙහි සිටි වැඩිහිටියෙක් මියගොස් ඇති බැවින් 72ක්ව සිටි ප්‍රමාණය 71ක් බවට පත්ව ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරිය කීවාය.
ගින්න හටගෙන ඇත්තේ මියගිය අයගේ මරණ පරීක්ෂණය සිදුවෙමින් පැවති අවස්ථාවේදී බව සඳහන්ය. මෙම මධ්‍යස්ථානය පාලනය කරනු ලබන අධ්‍යක්ෂවරයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ ගින්න හටගන්නා අවස්ථාවේදී තමා සිටියේ මරණ පරීක්ෂණය සිදුකළ ස්ථානයේ බවය. ගින්න හටගන්නා අවස්ථාවේදී වැඩිහිටියන්ට අමතරව සේවකයන් දෙතුන් දෙෙනක් පමණක් එහි සිට ඇති බවත් ඔවුන් පිටුපස කොටසේ රැඳී සිට ඇති බවත් ප්‍රශ්න කිරීමේදී සඳහන් කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා කීය.
ගින්නට හසුවී පිලිස්සී තුවාල ලබා 10 දෙනෙක් මියගොස් ඇති අතර, දෙදෙනෙක් මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය. එක් අයෙක් මියගොස් ඇත්තේ ඊයේ (04)ය. ඒ අනුව තවදුරටත් 06 දෙනෙක් පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සෙසු අයට හානියක් නොමැති බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් ඊයේ (04) පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ සිදු කරනු ලැබුවාය. අධිකරණ වෛද්‍ය නිලධාරීන් ද එහි පැමිණ නිරික්ෂණ කටයුතුවල නිරතව ඇත.
ගින්නට හසුව පිලිස්සී තිබූ මළ සිරුරු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම සිරුරු අතර තිබී ගින්නට හසුව මියගිය පූසකුගේ සිරුරක් ද හමු වී තිබේ.
