ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීම වැළැක්වීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත බරපතල ලෙස හා සමාව දිය නොහැකි ලෙස උල්ලංගනය කිරීමක් බව එම කොමිෂන් සභාව වැලිකඩ බන්ධනාගාර අධිකාරි හා ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරීන්ට දැනුම් දී තිබේ.
කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක ඕනෑම රැඳවුම් භාරයක පවතින ස්ථානයකට ඇතුළු වීමට එම පනත මගින් කොමිෂන් සභාවට පැහැදිලිවම බලය ලබාදී ඇති බවද එහිදී පෙන්වා දී ඇත.
මෙම දැනුම් දීම් සිදුකර ඇත්තේ ජුලි 14 දින කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු ඇතුළු නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ එම නිලධාරීන් කැඳවා සිදුකළ සාකච්ඡාවකදීය. එම කැඳවීම සිදුකර තිබුනේ ජුලි 07 වැනිදා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙනි.
විශේෂයෙන්ම වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් අමානුෂික සැලකීම් පිළිබඳ තොරතුරු ලැබී ඇති මොහොතක රැඳවියන්ගේ සුභසාධනය පිළිබඳ අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීමට කොමිෂන් සභාව සතු බලය බරපතල ලෙස අඩපණ කර ඇති බව නිරික්ෂණය වන බවද, ජුලි 07 දින පැවති තීරණාත්මක අවස්ථාවකදී මෙලෙස ඇතුළු වීම වැළැක්වීම හේතුවෙන් අදාළ චෝදනා ඵලදායී හා කාලෝචිත අයුරින් විමර්ශනය කිරීමට කොමිෂන් සභාවට තිබූ අවස්ථාව අහිමි කිරීමක් බවද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්ට කරුණු කිහිපයක් නිර්දේශ කර ඇති අතර ඒ පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක රැඳවුම් භාරයේ පවතින ස්ථානවලට ඇතුළු වීමට හා ඒවා පරික්ෂා කිරීමට කොමිෂන් සභාවට ව්‍යවස්ථාපිත බලය ඇති බවට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිඛිත චක්‍රලේඛයක් නිකුත් කර බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කිරීම, මීගමුව බන්ධනාගාරයේ සිට මාරුකර එවන ලද රැඳවියන්ට එරෙහිව වධහිංසා පැමිණවීම්, අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම් හෝ අනෙකුත් අමානුෂික සැලකීම් ඇතුළුව කිසිඳු ආකාරයක පළිගැනීමක් සිදුකිරීමෙන් වළකින ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග නිකුත් කිරීම, එම නියෝග දැඩි ලෙස නිරීක්ෂණය කිරීම, එවැනි පළිගැනීම්වල නිරතවන ඕනෑම නිලධාරියකුට එරෙහිව වහාම විනය පියවර ගැනීම හා අවශ්‍ය පියවර ගැනීම සඳහා කොමිෂන් සභාවට සහ නීති බලාත්මක කිරීමේ බලධාරීන්ට වාර්තා කිරීම, මීගමුව බන්ධනාගාරයේ සිට මාරුකර එවන ලද සියලුම රැඳවියන් සිටින ස්ථානය ඔවුන්ගේ ලඟම ඥාතීන්ට වහාම දැනුම් දීමට පියවර ගැනීම සහ තම බන්ධනාගාර දඬුවම් කාලය ගෙවා අවසන් කර ඇති රැඳවියන් ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට වහාම පියවර ගැනීම වේ.
