එකම ඝාතන රැල්ලට නඩු 2ක් එපා – මීගමුව බන්ධනාගාර අධිකරණයේ විභාගය නතර කරන්නැයි ඉල්ලීමක්

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර අධිකරණය මඟින් නඩු විභාග කොට දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා විසිනි.

එකම සිදුවීමක් සම්බන්ධයෙන් නඩු විභාග 2ක් පවත්වා දඬුවම් නියම කිරීම නුසුදුසු බවත් මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් නඩු පවරා ඇති බැවින් බන්ධනාගාර අධිකරණය මඟින් වෙනම නඩුවක් විභාග කිරීම අවශ්‍ය නොවන බවත් කරුණාතිලක මහතා එහිදී පෙන්වාදුන්නේය.

එමෙන්ම ඉදිරි දිනකදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයාද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව කරුණු සලකා බැලූ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ බන්ධනාගාර පනතට අනුව බන්ධනාගාරයට එවැනි නඩු විභාගයක් පැවැත්වීමට බලය හිමිව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි දිනකදී සුදුසු නියෝගයක් ලබා දෙන බවයි.

මෙහිදී කරුණාතිලක මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ බන්ධනාගාරයට සිදුවී ඇති හානිය තක්සේරු කිරීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ලවා අපරාධ ස්ථානයේ ඩ්‍රෝන පරීක්ෂණයක් සිදු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉකුත් 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ සහකාර පොලිස් පරීක්ෂක කළුආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කළේය.

මෙම ගැටුමෙන් මියගිය සංජු දිල්රුක්ෂාන් නමැති අයගේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවීම පසුගිය 11 වන දින මාලිගාකන්ද අධිකරණයේදී පවත්වා ඇති අතර එහිදී මියගිය අයගේ සිරුරෙන් සොයාගත් උණ්ඩ කොටසක් මෙන්ම ඔහුගේ ඇඳුම් සහ ලේ සාම්පල නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබේ.

එම නඩු භාණ්ඩ නිසි පරිදි නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කරන ලෙස එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

මීට අමතරව මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සම්පත් පුෂ්පකුමාර, හර්ෂ ප්‍රියංකර සහ දනිඳු හෂ්මික යන අයගේද මරණ පරීක්ෂණවල සාක්ෂි කැඳවීම මෙහිදී සිදු කෙරිණි.

එහිදී සාක්ෂි දීම සඳහා මියගිය අයගේ ඥාතීන් වන සුරංජි ප්‍රනාන්දු, නිරුපා රෝෂානි, මනෝජ් ප්‍රියංගික, නිමාලි ශිරන්ති සහ ජයලත් පෙරේරා යන අය පෙනී සිටියහ.

මේ වන විට නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 287 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 14 වනදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

එහිදී එම නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කරගන්නා සියලුම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා මෙන්ම ගිනිඅවි ආඥා පනත සහ පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317 සහ 344 යන වගන්ති යටතේ වැරදි සිදුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් නිලධාරීන් විසින් ඉල්ලා සිටි සියලුම නියෝග නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගත්තාය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම විමර්ශනවල ප්‍රගති වාර්තාව එළඹෙන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම ජාතික රෝහලේදී මියගිය රැඳවියා සහ නිලධාරීන් 2 දෙදෙනා ඇතුළු මෙතෙක් සාක්ෂි කැඳවීම් සිදු කර නොමැති මරණවලට අදාළව සාක්ෂි කැඳවීමට කටයුතු සූදානම් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

බන්ධනාගාරය වෙනුවෙන් පෙනී සිටි සැරයන් මුදිත රොහාන් මහතා සියලුම රැඳවියන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි අතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ එම නියෝගය ඉකුත් 9 වන දින දැනටමත් නිකුත් කර ඇති බවයි.

වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර බලධාරීන්ට නියෝග කෙරුණු අතර ඒ පිළිබඳව සංඛ්‍යාත්මක වාර්තාවක් දැනටමත් ඉදිරිපත් කර ඇති බැවින් සවිස්තරාත්මක වාර්තාව ඉදිරි දිනයකදී ලබා දෙන බව බන්ධනාගාරය ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading