අසේල කුරුළුවංශ
කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ධුරය දැරීම සඳහා තවත් වසරකට වැඩි කාලයක් ඉතිරිව තිබියදී, එම ආයතනයේ සභාපති ඒ.එච්. ස්ටීවන් මහතා සිය ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
සිය ඉල්ලා අස්වීම පිළිබඳව දැනුම් දෙමින් ඔහු අද (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුරංග ප්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් ලිපියක් භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ලිපිය මඟින් ඔහු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මස 10 වනදායින් පසුව තමන් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වන බැවින් ඊට අදාළ ඉදිරි පරිපාලනමය කටයුතු සලසා දෙන ලෙසයි.
කෙසේ වෙතත් මෙම හදිසි ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි එම ලිපිය තුළ නිශ්චිතව දක්වා නොමැත.
මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අබේකෝන් මහතා විසින් 2024 නොවැම්බර් මස 06 වැනි දින ඒ.එච්. ස්ටීවන් මහතාව මෙම සභාපති ධුරයට පත් කරනු ලැබුවේ වසර තුනක නිල ධුර කාලයක් සඳහායි.
ඒ අනුව ඔහුගේ නිල සේවා කාලය නිමාවීමට තවත් වසරකට වඩා වැඩි කාලයක් පැවතුණා.
තමන් යොමු කළ ලිපිය හරහා ස්ටීවන් මහතා නව ආණ්ඩුකාරවරයාට පෙන්වා දී ඇත්තේ, සීමිත මූල්‍ය ප්‍රතිපාදන, අවම කාර්ය මණ්ඩලය සහ සීමිත සම්පත් මධ්‍යයේ වුවද ගතවූ කාලය තුළ ආයෝජන ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති රැසකට ශක්තිමත් මූලික අඩිතාලමක් දැමීමට තමන්ට හැකි වූ බවයි.
පටු රාමුවක සීමා වී තිබූ රේඩා ආයතනයේ විෂය පථය පුළුල් කිරීමට පියවර ගත් බවද ඔහු සඳහන් කර තිබෙනවා.
එසේ තිබියදී ධුර කාලය අවසන් වීමට පෙර මෙලෙස ඉවත්ව යෑමට සිදුවීම හේතුවෙන් තමන් ආරම්භ කළ ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක වීම අඩාල විය හැකි බවට හැඟීමක් තමන් තුළ පවතින බවද ඔහු සිය ලිපිය මඟින් සඳහන් කළා.
මේ අතර මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ, රේඩා සභාපතිවරයා මෙලෙස හදිසියේ ඉවත් වී ඇත්තේ එල්ල වූ දේශපාලන බලපෑම් මත බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විවිධ වගකිවයුතු රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවලට පත් කළ පුද්ගලයින් රැසක්ම පසුගිය කාලයේදී ඉල්ලා අස්වූ බවත් එයින් පෙන්නුම් කරන්නේ පාලක ජාතික ජන බලවේගය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය බවත් ඔහු චෝදනා කළා.
තවද ඉල්ලා අස්වූ ස්ටීවන් මහතා වෙනුවට රේඩා ආයතනයේ නව සභාපති ධුරය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කිරීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියා.
නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සිදු වූ අතර මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අබේකෝන් මහතා වෙනුවට මහාචාර්ය සුරංග ප්‍රනාන්දු මහතා නව ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි භාර ගනු ලැබුවා.
මෑත මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන, සංස්ථා හා පළාත් සභා ආයතන කිහිපයකම සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිය ධුර කාලය අවසන් වීමට පෙර පෞද්ගලික හේතු හෝ පරිපාලනමය ගැටලු මුල් කරගනිමින් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එය දේශපාලන වේදිකාවේද දැඩි කතාබහට ලක් වුණා,.
මධ්‍යම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මධ්‍යම පළාත තුළ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීම සහ ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම භාර ප්‍රධානම ව්‍යවස්ථාපිත ආයතනයක් වනවා.
