ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අද (02) සම්පූර්ණයෙන්ම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නියෝග කළා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය අද දෙවන දිනටත් පැවැත්වුණා.
අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට තිබේ නම් ඒවා හෙට (03) පස්වරු 3.00ට පෙර ගොනු කරන ලෙසද විනිසුරු මඬුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට දැනුම්දුන්නා.
පෙත්සම් විභාගය අතරතුර පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් කරුණු දක්වමින්, යෝජිත සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවත් එම ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ මෙරට ජනතාව බැවින් එය සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවත් කියා සිටියා.
තවද මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට පනවා ඇති ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පවසමින් උන්වහන්සේ සූත්‍ර පිටකය ඔස්සේ කරුණු දැක්වීම් සිදු කළා.
එම අවස්ථාවේදී කස්සප හිමියන් ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, උන්වහන්සේ තරම් ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තමන් සතු නොවන බවත් අධිකරණයක් හමුවේ සලකා බැලිය හැක්කේ ධර්මය නොව නීතිය පමණක් බැවින් නෛතික රාමුව තුළ සිට කරුණු දක්වන ලෙසත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ අධිකරණයට කරුණු දක්වන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කළා.
මෙරට අධිකරණ කටයුතු පුළුල් කොට කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුවන්නේ විධායකයේ බලතල අඩුවීමක් මිස වැඩිවීමක් නොවන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන සහ 4 වන වගන්ති මෙමඟින් උල්ලංඝනය වන බවට පෙත්සම්කාර පාර්ශ්වය චෝදනා කළද, එය සිදුවන්නේ කෙසේදැයි නෛතිකව සනාථ කිරීමට ඔවුන් අපොහොසත් වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.
මෙම සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් එල්ල වූයේ නම් රජය පවා එය පිළිගන්නා බවත් එහෙත් එවැනි කිසිදු ව්‍යවස්ථා උල්ලංඝනයක් මෙයින් සිදු නොවන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළා.
ලෝකයේ අනෙකුත් රටවල තත්ත්වය සංසන්දනය කරමින් සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේ, ඇමරිකාවේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ට ජීවිතාන්තය දක්වා කටයුතු කළ හැකි බවත් බ්‍රිතාන්‍යයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 75 දක්වා වැඩි කරමින් විශ්‍රාමික විනිසුරුවරුන් පවා නැවත රාජකාරියට කැඳවූ බවයි.
මෙරට තුළ එවැනි පියවර නොගන්නා අතර සැමවිටම රාජ්‍ය සේවයේ විශ්‍රාම වයසට වඩා වැඩි වයස් සීමාවක් විනිසුරුවරුන් සඳහා නියම කර තිබූ බව පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න, වර්තමානයේ සාමාන්‍ය රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60ක්ව පවතින පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ කිසිදු ගැටලුවක් මතු නොවන බව ප්‍රකාශ කළා.
තවද යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි විමසා බැලීම පමණක් අධිකරණයේ වගකීම වන බැවින්, එය ව්‍යවස්ථාවට පටහැනි නොවන තාක් ජනමත විචාරණයකට යොමු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මෙම පනත් කෙටුම්පතට සහය පළ කරමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කළා.
එහිදී ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වයන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව ඉහළ දැමූ අවස්ථාවේදී ජනමත විචාරණයක් නොපැවැත්වූ බව සිහිපත් කළ ඔහු, 1972 ව්‍යවස්ථාවෙන් අවුරුදු 63ක්ව පැවති විනිසුරු විශ්‍රාම වයස 1978 දී අවුරුදු 65 දක්වා වැඩි කිරීමේදී ද එවැනි පියවරක් නොගත් බව පෙන්වා දුන්නා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ සංඛ්‍යාව ඉහළ දැමීමෙන් ව්‍යවස්ථා සභාවේ හෝ ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු නොවන බවත් අතීතයේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ අධිකරණයේ දොර වැසීම සහ විනිසුරු නිවාසවලට ගල් ගැසීම වැනි ක්‍රියා හරහා ස්වාධීන අධිකරණයට සැබෑ බලපෑම් එල්ල වුවද මෙම පනත් කෙටුම්පතෙන් එවැන්නක් සිදු නොවන බවත් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා සඳහන් කළා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය හෝ අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය නොවන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියා.
එමෙන්ම නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා පෙන්වා දුන්නේ, මෙරට ජනගහන වර්ධනය සහ ආයු අපේක්ෂාව ඉහළ යාම සැසඳීමේදී මෙය ඉතා කාලෝචිත සංශෝධනයක් බවයි.
1948 වසරේදී අවුරුදු 48 සිට 55 දක්වා වූ මෙරට පුද්ගල ආයු කාලය, 1978 වන විට අවුරුදු 67ත් 69ත් අතර අගයකටත්, වර්තමානය වන විට පිරිමින්ගේ අවුරුදු 77ක් හා කාන්තාවන්ගේ අවුරුදු 81ක් දක්වාත් වර්ධනය වී ඇති බව ඔහු පෙන්වාදුන්නා.
පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේ ද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 සිට 75 දක්වා වැඩි කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් මිස ජනමත විචාරණයකින් නොවන බව පැවසූ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය නොවන හෙයින් මෙය ජනමත විචාරණයකට යොමු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කියා සිටියා.
ඉන් අනතුරුව අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතිඥ ජානක අධිකාරි මහතා ඇතුළු පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය කඩවන බව තහවුරු කළ කිසිදු දෙස් විදෙස් නඩු තීන්දුවක් නොමැති බැවින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නැගෙන තර්කය මුළුමනින්ම පදනම් විරහිත බවයි.
තවත් අතරමැදි පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා අධිකරණයට දන්වා සිටියේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම අත්තනෝමතික ක්‍රියාවක් නොවන බවයි.
ඇමරිකාවේ විනිසුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා සේවය කළ හැකි අතර, බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ විශ්‍රාම වයස අවුරුදු 75ක් ලෙසත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ජැමෙයිකාව වැනි රටවල එය අවුරුදු 70ක් ලෙසත් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් නීතිඥ නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා, ඒ අනුව මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා කිසිසේත්ම ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව වැඩිදුරටත් කියා සිටියා.
මෙම නඩු විභාගය ඊයේ (01) ආරම්භ වූ අවස්ථාවේදී, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වයන් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බලන ලෙසයි.
එහෙත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යනු ලැබුවා.
නඩුවේ මුල් දිනයේදී අංක 502 ශාලාවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, නීතිඥවරුන්ගේ ඉල්ලීම මත විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 501 දරන විශාල ශාලාව වෙත මාරු කරනු ලැබුවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 15කට අධික සංඛ්‍යාවකින් තර්ක කෙරුණේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම හරහා අධිකරණ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවල සඳහන් ජනතා පරමාධිපත්‍යයට හානි වන බැවින් මෙය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
කෙසේවෙතත් දෙදිනක් පුරා ඉදිරිපත් වූ සියලු පාර්ශ්වයන්ගේ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය අද සම්පූර්ණයෙන්ම අවසන් කළ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සිය රහසිගත නිගමනය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කිරීමට නියෝග කළා.
