බදු ඔප්පු කොන්දේසිය නිසා සිද්ධස්ථාන ඉඩම්වල දරුවන්ට 1 වසර පාසල් අහිමිවීමේ අසාධාරණයක්

පාසැල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාතයාංශය මගින් නිකුත් කර තිබෙන චක්‍ර ලේඛනයට අනුව පදිංචිය සනාථ කිරීම සඳහා සිද්ධස්ථාන ඉඩම් වල පදිංචිකරුවන් සඳහා නියම කර තිබෙන කොන්දේසි සපුරා ලීමට නොහැකිව එම ඉඩම් වල පදිංචි අන්‍යාගමික හා ඇතැම් සිංහල බෞද්ධ බදුකරුවන්ද දැඩි අසීරුතාවට පත්ව සිටින බව මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් ඩබ්ලිව්. එම්.ඒ. එච් බණ්ඩාර මහතා පවසයි.

මේ හේතුවෙන් මහනුවර නගරයේ ජනප්‍රිය පාසල් ආසන්නයේ දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිව සිටින පුද්ගලයින් ගණනාවකට තම දරුවන් පාසල් වලට ඇතුළු කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවද ඒ මහතා කීය.

කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් ඊයේ (03) පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී බණ්ඩාර මහතා මෙම කරුණ අනාවරණය කළේය.

මහනුවර නගරයේ ප්‍රධාන පාසැල් අවට ඇති ඉඩම් බහුතරයක් සිද්ධස්ථානවලට අයිත් ඒවා බවත් එම ඉඩම් වල බදු පදනම මත සිටින ජනතාව ඔවුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළු කිරීමට යාමේදී අදාළ චක්‍රලේඛනය ප්‍රකාරව විදුහල්පතිවරු ලකුණු නොදීම නිසා ඔවුන්ට පැහැදිලි ලෙසම දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත් ඒ මහතා කීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාතයාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛනයට අනුව පදිංචි ස්ථානය තහවුරු කිරීමේ ප්‍රධාන ලේඛනය යටතේ 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද වසර 30 ක හෝ ඊට වැඩි බදු ඔප්පුවක් ඉදිරිපත් කළ යුතු බව දක්වා තිබෙන බවත් සිද්ධස්ථාන ඉඩම් බදු දීමේදී වසර 29 ක් සඳහා පමණක් බදු දීම සිදු කරන බැවින් බදුකරුවන්ගේ දරුවන් පාසල් වලට ඇතුළු කිරීමට යාමේදී දෙමව්පියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

සිද්ධස්ථාන ඉඩම් වල පදිංචි අන්‍යාගිමක පුද්ගලයින් සඳහා ලබා දෙන්නේ වාර්ෂික බදු කුවිතාන්සියක් බවත් මේ හේතුවෙන් දීර්ඝ කාලීන බදු ඔප්පුවක් ඉදි‌රිපත් කිරීමේ කිසිදු හැකියාවක් ඔවුන්ට නොමැති බවත් කී ඒ මහතා මව පියා නොවන වෙනත් ඥාතීන්ගේ නිවෙස් වල සිටින සිංහල බෞද්ධ දරුවන්ටද මේ හේතුවෙන් පාසල් අහිමි වීමේ තත්ත්වයක් පැන නැගී ඇතැයිද අවධාරණය කළේය.

කොවිඩ් තත්ත්වයත් සමඟ ආදායම් අහිමිව පත්වූ අසරණ භාවය සැලකිල්ලට බොහෝ සිද්ධස්ථාන මගින් 2022 හා 2023 වසර වලදී බදු අයකර නොමැති බවත් මේ නිසා බදුකරුවන්ට එම වසර වලට අදාළව බදු කුවිතාන්සි නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බවත් කී කොමසාරිස්වරයා මෙම ගැටලුව සම්බන්ධව සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමු කළ යුතුව ඇතැයිද පෙන්වාදෙනවා.

Author

Related Posts