ඇමති මණ්ඩලයේ බහුතරය බෞද්ධ! ව්‍යවස්ථාවෙන් අපට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න පවරලා තියෙන්නෙ – නලින්ද ජයතිස්ස

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සාතිශය බහුතරයක් බෞද්ධ පරිසරයන් තුළ හැදී වැඩී, පාසල, දහම් පාසල සහ ගමේ පන්සල්වල මහා සංඝරත්නය සමඟ කටයුතු කළ පිරිසක් බවත් ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන සියලු දෙනාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම පැවරී ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තියට අනුකූලව ක්‍රියාකිරීමට පමණක් නොව, තම ජීවිතාදර්ශයන් තුළින්ම පන්සල් ආශ්‍රිත ආගමික කටයුතු වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියටත් විහාරස්ථාන වෙත අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට රජය සූදානමින් සිටින බවයි.

පසුගිය වසරක කාලය තුළ දිවයින පුරා පෙරහැර විශාල ප්‍රමාණයක් සාර්ථකව පවත්වා අවසන් කළ නලින්ද ජයතිස්ස මහතා එහිදි සඳහන් කළා.

වසර හත අටක් තිස්සේ නොපවත්වා නතර වී තිබූ ඓතිහාසික පෙරහැරවල් පවා යළි ආරම්භ කරමින් පෙරහැර සංස්කෘතිය ඉහළට ඔසවා තැබීමට රජය කටයුතු කළ බවද ඔහු පැවසුවා.

මීට අමතරව ඓතිහාසික ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වීම, පසුගිය වෙසක්, පොසොන් සහ ඇසළ ආගමික කලාප ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් අතිඋත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීම, සර්වඥ ධාතු ප්‍රදර්ශන පැවැත්වීම මෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් මහා සංඝරත්නය උදෙසා උපසම්පදා විනයකර්ම සිදුකිරීම ආදී දැවැන්ත ශාසනික මෙහෙවරක් රජය විසින් ඉටුකළ බවද ඔහු පෙන්වාදෙනවා.

මෙම සියලු කටයුතු රටේ ජනතාවට මෙන්ම මහා සංඝරත්නයටද ඉතා හොඳින් දැකගත හැකි බවත් රජයේ මෙම ආගමික මැදිහත්වීම පිළිබඳව මහා සංඝරත්නය තුළ දැඩි ඇගයීමක් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියා.

විපක්ෂය මැතිවරණ සමයේදී “මේ ආණ්ඩුව බලයට ආවොත් පෙරහැර නවත්වනවා, පන්සල්වලට දානය නොලැබී යනවා” යනුවෙන් ගෙනගිය අසත්‍ය ප්‍රචාරයන් අදටත් එලෙසින්ම ඉදිරියට ගෙන යමින් සිටින බව පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, විපක්ෂයේ එවැනි පදනම් විරහිත කතාවලට නොරැවටී බුදු සසුන සුරැකීමේ සහ විහාරස්ථානවලට සහාය දැක්වීමේ ප්‍රතිපත්තිය රජය අඛණ්ඩව ඉදිරියටම ගෙන යන බවද වැඩිදුරටත් කියා සිටියා.


Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading