දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම හෙට (04) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පස්වරුවේ නියෝග කළා.

ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද පෙරවරුවේ සිට විභාගයට ගැණූනා.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව විසින් අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 15ක් ගොනු කර තිබුණා.

අද දින විවෘත අධිකරණයේදී කරුණු තහවුරු කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, යෝජිත නව සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් වගන්ති මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ ස්වාධීන බලයද බරපතළ ලෙස කප්පාදුවකට ලක්වන බවයි.

එබැවින් මෙම පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ නොහැකි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටි‍යා.

අද දිනය තුළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ දේශන අවසන් කෙරුණු අතර ඊට අදාළ වැඩිදුර නඩු විභාගය හෙට පෙරවරුවේ යළි ආරම්භ වීමට නියමිතයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading