කොළඹ වරායේ ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි සඳහන් වූ බහලුමක් තුළ තිබී අත්අඩංගුවට ගත් අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් තොගය ඇමරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය නියාමන හා බලාත්මක කිරීමේ පරිපාලනයේ නවදිල්ලි කාර්යාලය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව කළ මෙහෙයුමක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
එය පාකිස්ථානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාලයක් බිඳ දැමීමේ සාර්ථක ඒකාබද්ධ මෙහෙයුමක් බව එම නිවේදනය අවධාරණය කර තිබේ.
අගෝස්තු 14 සිට 29 දක්වා කාලය තුළ පාකිස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් කළ සැකසහිත මුහුදු බහලුම් පිළිබඳව එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නියාමන හා බලාත්මක කිරීමේ පරිපාලනයේ විදේශීය සහයෝගී ආයතන ඒකකය සහ පාකිස්ථාන මත්ද්‍රව්‍ය නාශක බලකායේ විශේෂ විමර්ශන අංශය විසින් එකතු කරන ලද බුද්ධි තොරතුරු මත ක්‍රියාකළ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුවා තුළ සඟවා තිබූ එම මත්ද්‍රව්‍ය කිලෝ 463ක් පමණ අත්අඩංගුවට ගත් බවත්, එය ඇමරිකානු ඩොලර් මිලියන 21ක වටිනාකමකින් යුතු බවත් එහි සඳහන් කර තිබේ.
එම මෙහෙයුම මගින් ත්‍රස්තවාදයට මුදල් සපයන සහ දෙරටේම ජනතාවට තර්ජනයක් වන ජාත්‍යන්තර අපරාධ සංවිධාන බිඳ දැමීමේදී එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය අවධාරණය කරන බවද සඳහන් කරයි.

