කොටි කඳවුරක් ගැන බොරු කී සැකකරු යළි රිමාන්ඩ්

කොටි සංවිධානයට අයත් කඳවුරක් පලෙයි රක්ෂිතයේ ඇති බව කියමින් ව්‍යාජ පුවතක් ජනගත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංගීත් ජයසේකර නැමැත්තා ලබන මස 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (සැප්තැම්බර් 02) නියෝග කළේය.

මෙම සැකකරුගේ දුරකථන වාර්තා සම්බන්ධයෙන් සහ ජාතික හැඳුනුම්පත් 3ක් ළඟ තබා ගැනීම පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති බැවින් ඔහුව තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කළ ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නියම කළ අතර, විමර්ශනවල ප්‍රගතිය ලබන 16 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

පසුගිය අගෝස්තු 14 වැනිදා කොළඹ ප්‍රදේශයේ හෝටලයකදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සැකකරු කිලිනොච්චිය, පලෙයි රක්ෂිතය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට ප්‍රකාශ කර ඇති අතර එවැනි ප්‍රකාශයක් සිදු කිරීම සාමයට බාධාවක් මෙන්ම මහජන කැලඹීමක් ඇති වීමට හේතු විය හැකි බව වැඩි දුරටත් කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියකුගේ පදනම් විරහිත ප්‍රකාශයක් මත මෙම ප්‍රකාශය කළ බවට සැකකරු ප්‍රකාශ කර ඇතත්, අඩවි වන නිලධාරියා සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදී ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බව රහස් පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ.

සැකකරුගේ මෙම ප්‍රකාශය පොලිස්පතිවරයා විසින් ඊට පසු දිනයේදීම ප්‍රතික්ෂේප කළ බවත්, කිලිනොච්චි ප්‍රදේශයට විමර්ශන කණ්ඩායමක් සහ පොලිස් නිල සුනඛයන් යවා පරීක්ෂා කළද එහි බෝම්බ කම්හලක් ඇති බවට කිසිදු සාක්ෂියක් හමු වී නැති බවත් පැමිණිල්ල අධිකරණයට දන්වා ඇත.

එසේම, අදාළ ප්‍රදේශයේ දෙමළ ජනතාව රක්ෂිතයට ගොස් වගා සහ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධයෙන් පලෙයි පොලිසිය මඟින් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරා ඇති බවද සඳහන් විය. තවද, පලෙයි රක්ෂිතය තුළ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු ගොවිපොළක් සහ ඇගළුම් කම්හලක් ඉදිකරමින් පවතින බවත් එය නීති විරෝධී ඉදිකිරීමක් බැවින් එකී ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා ඇති බවත් පැමිණිල්ල අධිකරණයට සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading