අතීත මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා සාධාරණය ඉෂ්ට කිරීමේදී ආණ්ඩුවේ ප්‍රගතිය මන්දගාමීයි – හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අතීතයේ සිදුවූ බරපතල අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ රජයේ ක්‍රියාවලිය දැඩි ලෙස මන්දගාමී වී ඇති බව ‘හියුමන් රයිට්ස් වොච්’ (Human Rights Watch) සංවිධානය සිය නවතම වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙයි. (වාර්තාව: https://www.hrw.org/report/2026/09/01/not-genuine-with-justice/sri-lankas-lack-of-will-to-prosecute-past-abuses)

“යුක්තිය ඉෂ්ට කිරීමේ සැබෑ නියමයක් නැත’: අතීත උල්ලංඝනයන් නීතිය හමුවට පැමිණවීමට ශ්‍රී ලංකාවේ ඇති අකමැත්ත” (“Not Genuine with Justice’: Sri Lanka’s Lack of Will to Prosecute Past Abuses,”) යන මැයෙන් යුතු පිටු 49 කින් යුත් මෙම වාර්තාව මගින්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය බලයට පත්වීමෙන් පසු ඇතැම් ප්‍රධාන නඩු සම්බන්ධයෙන් සුළු ප්‍රගතියක් පෙන්වා තිබුණද, බොහෝ ප්‍රධාන නඩු තවදුරටත් ඇණහිට ඇති බව අනාවරණය කර ඇත.

2009 ලසන්ත වික්‍රමතුංග ඝාතනය, 2010 ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීම, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාම සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවල යම් ප්‍රගතියක් සිදුවී ඇති බව වාර්තාවේ සඳහන් වේ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි නිලධාරී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට විදේශගමන් තහනම් කිරීම වැනි පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, 2006 දී Trinco 5 දෙමළ සිසුන් ඝාතනය සහ Action Contre la Faim (ACF) සහන සේවකයින් 17 දෙනෙකු සමූලඝාතනය කිරීම වැනි ප්‍රකට නඩුවල කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. යාපනය චෙම්මනි සමූහ මිනීවළෙන් ශේෂයන් 582 ක් සොයාගෙන තිබුණද, වින්දිතයින් හඳුනා ගැනීමට සැබෑ උත්සාහයක් ගෙන නොමැති බවද සඳහන් වේ.

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි එකතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් පිහිටුවන ලද ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ (Sri Lanka Accountability Project) දිසානායක රජය විසින් පිළිගෙන නොමැත. අතීත උල්ලංඝනයන් පිළිබඳව ස්වාධීනව නඩු පැවරීම සඳහා පොරොන්දු වූ රාජ්‍ය නඩු පැවරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (Directorate of Public Prosecution) පිහිටුවීමට ද එය අපොහොසත් වී ඇත.

ඒ වෙනුවට, එය අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය වැනි පෙර රජයන්හි මුලපිරීම්වලට සහය දක්වා ඇති අතර, වින්දිතයන්ගේ පවුල් බොහොමයක් ඒවා යුක්තිය ඉෂ්ට කිරීම ප්‍රමාද කිරීමේ උත්සාහයන් ලෙස සලකා ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ පිළිගැනීමට හෝ ස්වාධීන රාජ්‍ය නඩු පැවරීමේ අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට රජය කටයුතු කර නොමැති බවට හියුමන් රයිට්ස් වොච් චෝදනා කරයි.

“අතීත ආන්ඩු විසින් බරපතල උල්ලංඝනයන් සඳහා සාධාරණය ඉෂ්ට කිරීම ප්‍රමාද කිරීමේ සහ ප්‍රතික්ෂේප කිරීමේ සිරිතෙන් දිසානායක පරිපාලනය මිදිය යුතුය,” යැයි හියුමන් රයිට්ස් වොච් හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල අධ්‍යක්ෂිකා ලුසී මැක්කර්නන් පැවසුවාය. “අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විශ්වාසදායක වගවීමේ පියවර ගන්නා ලෙසත්, වින්දිතයන්, ඔවුන්ගේ පවුල්වල අය සහ මානව හිමිකම් ආරක්ෂකයින්ට එරෙහිව සිදුවන පළිගැනීම් නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතුය.”

2009 සිවිල් යුද්ධය අවසන් වූ තැන් සිට සිදුවන උල්ලංඝනයන් නතර කිරීමටත්, සාධාරණය සහ වගවීම ප්‍රවර්ධනය කිරීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, 2011 මහලේකම්වරයාගේ විශේෂඥ මණ්ඩල වාර්තාව සහ 2015 OHCHR ශ්‍රී ලංකා විමර්ශනය මගින් යුද්ධයේදී දෙපාර්ශවයම සිදුකළ පුළුල් යුද අපරාධ ලේඛනගත කරමින් මානව හිමිකම් මණ්ඩලය මගින් යෝජනා සම්මත රාශියක් ද සම්මත කර ඇත.

එබැවින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සහ OHCHR ආයතනය විසින් දිසානායක රජයේ සාධාරණය ඉෂ්ට කිරීමේ ප්‍රගතිය දිගටම සමාලෝචනය කරමින්, දශක ගණනාවක දණ්ඩමුක්තිය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස රජයට නිරන්තර බලපෑම් කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading