රාජපක්ෂ පාලන සමයේ මර්දනය, ඝාතන තර්ජන සහ “ප්‍රතිරක්ෂණ” වංචාවේ සුදු කරපටි හස්තය ගැන ලසන්ත රුහුණගේ හෙළි කරයි…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත “රාජපක්ෂ සමාගම” සහ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හා එම්. එෆ්. එම්. ෆසීර් එක්ව රචනා කරන ලද “පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා” යන කෘති ද්විත්වය එළිදැක්වීම පසුගිය 28 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ, රාජපක්ෂ පාලන සමයේදී තමන් මාධ්‍යවේදියකු ලෙස මුහුණ දුන් දැඩි තර්ජනාත්මක අත්දැකීම් සහ “රාජපක්ෂ සමාගම” කෘතිය රචනා කිරීම පිටුපස වූ මෙතෙක් අනාවරණය නොකළ සංවේදී කරුණු කිහිපයක් සභාව හමුවේ හෙළි කළේය.

රාජපක්ෂ යුගයේදී මාධ්‍යවේදීන්ට එල්ල වූ තදබල මර්දනය හමුවේ තමන්ට යම් ආරක්ෂිත ආවරණයක් ලැබුණු ආකාරය පිළිබඳව රුහුණගේ මහතා මෙසේ පැහැදිලි කළේය.

“එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ‘රාවය’ පුවත්පතේ ප්‍රධාන කතෲ වික්ටර් අයිවන් මහතා (අපි ඇමතූ පරිදි අතුල අයියා) අතර විශේෂ සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධය නිසා රාවය ඇතුලේ සිටි මට අත තියන්න බලධාරීන් යම් තරමකට පස්ස ගැහුවා. මාධ්‍යවේදියකු ලෙස මම රටට යමක් කරන්න සහ මගේ මාධ්‍ය වගකීම ඉටු කරන්න ඒ ලැබුණු ‘ආවරණය’ උපරිමයෙන් පාවිච්චි කළා.”

නමුත් කාලයත් සමඟ එම තත්ත්වය දැඩි ගැටුම්කාරී එකක් බවට පත් වූ බවත්, සිකුරාදා උදෑසන රාවය පුවත්පත බලන එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් එන පීඩනය හමුවේ වික්ටර් අයිවන් මහතා තමන්ගේ ලිපිවලට දෝෂාරෝපණය කළ අවස්ථා රැසක් තිබූ බවත් ඔහු සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාවේ “ප්‍රතිරක්ෂණ” වංචාව සහ ඝාතන තර්ජන

තමන් හෙළිදරව් කළ විශාලතම සුදු කරපටි අපරාධයක් වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිරක්ෂණ වංචාව පිළිබඳ මතකය ආවර්ජනය කළේය.

එල්.ටී.ටී.ඊ. යුද්ධය පැවැති සමයේ රජයට තිබූ විශාලතම දේපළ වූ ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් සංචිත ඇතුළු දේපළ, ඉන්දියාවේ ‘බ්ලැක්ලිස්ට්’ වූ බ්‍රෝකර් කෙනෙකු හරහා ව්‍යාජ ලෙස ප්‍රතිරක්ෂණය කරමින් රුපියල් කෝටි 100කට ආසන්න ප්‍රීමියම් මුදලක් වංචා කිරීමට දැරූ උත්සාහයක් තමන් රාවය පුවත්පත හරහා හෙළි කළ බව ඔහු කීය. එවකට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ගාමිණී සෙනරත් මහතාය.

මෙම පුවත පලකිරීම වැළැක්වීම සඳහා පුවත්පතට දැන්වීම් ලබාදීමට සහ විවිධ පාර්ශ්ව හරහා අල්ලස් දීමට උත්සාහ කළද තමන් එම පුවත ප්‍රධාන පුවත ලෙස පළ කළ බවත්, ඉන්පසු වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයකදී තමන්ව ඉවර කර දැමීමට (ඝාතනය කිරීමට) සාකච්ඡා වී තිබූ බව වික්ටර් අයිවන් මහතා මාර්ගයෙන් තමන්ට දැනගන්නට ලැබුණු බවත් ලසන්ත රුහුණගේ වැඩිදුරටත් අනාවරණය කළේය.

ලංකා ලොජිස්ටික් ආයතනය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ හෙළිදරව්වක් සිදු කළ ලසන්ත රුහුණගේ මහතා පෙන්වා දුන්නේ, යුද්ධ පැවැති සමයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙම ආයතනය පිහිටුවන ලද්දේ විදෙස් රටවලින් අවි ආයුධ මිලදී ගැනීමේදී අතරමැදියන්ට යන විශාල කොමිස් මුදල් එක එක්කෙනාගේ අතට යනු වෙනුවට රාජ්‍ය සතු කරගැනීමේ අරමුණින් බවයි.

එම ආයතනය ආරම්භ කළ අවස්ථාවේදී එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි, හමුදා පසුබිමක් සහිත ගෝඨාභය රාජපක්ෂ මහතා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බවත්, නමුත් මෙම ප්‍රතිරක්ෂණ වංචාව පිළිබඳ එළිදරව්ව සිදුකරන සමය වන විට ඔහු ලංකා ලොජිස්ටික් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටි බවත් ඔහු සඳහන් කළේය. එමඟින් මෙම සුදු කරපටි ව්‍යාපාරික ක්‍රියාවලිය මෙහෙයවූ සැබෑ හස්තයන් සහ එහි පාලනය පැවැතියේ කා අතද යන්න මනාව පැහැදිලි වන බවද රුහුණගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒගොල්ලෝ ලංකා ලොජිස්ටික් කියන ආයතනය හැදුවේ මේ යුද්ධය යන කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, මේ යුද්ධයෙන් ගේන අවි ආයුධ විශාල කොමිස් එකක් තියෙනවා මේක ඒ අතර. ඒ හින්දා මේ කොමිස් එක එක් එක්කෙනා අතට යනවා වෙනුවට අපි රාජ්‍ය සතු කරගත යුතුයි කියලා තමයි හැදුවේ. එතකොට ඒක මුලින්ම හැදුවම ඒකේ එක අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වෙනවා ඒ කාලේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ. දැන් එයා දන්නෙත් ආරක්ෂක විෂයනේ, අපි දන්න විදියට හමුදාවේ හිටපු එක්කෙනෙක්නේ. දැන් මං මේ කියන ඔය එලිදරව්ව කරන කාලේ අර ලංකා ලොජිස්ටික් එකේ අධ්‍යක්ෂකකමින් ගෝඨාභය රාජපක්ෂ අයින් වෙලා, ඕගොල්ලෝ හිතන්නේ කොහේ අධ්‍යක්ෂකකම් කරා කියලාද, අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටියා කියලාද? ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙක් විදියට තමයි සේවය කරන්නේ. ඕගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ මේ වයිට් කොලර් බිස්නස් එක කොහෙද ගියේ, මොකද වුණේ, ඕකේ කවුද ගොඩ්ෆාදර් කියලා.

තවද, එකල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ලොජිස්ටික් ආයතනයෙන් ඉවත් වී, රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් මෙම ක්‍රියාවලිය පිටුපස සිටි ආකාරයද ඔහු පෙන්වා දුන්නේය.

ලංකාවේ තියෙන ලොකුම දේපල තමයි රජයට අයිති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපල. ඒ කියන්නේ කොලොන්නාව, මුතුරාජවෙල, එයාපෝට් එකේ මේ ඔක්කොම ඇතුලු තෙල් සංචිත ඇතුලු මේ ඔක්කොම දේපල. එතකොට මේක තමයි ලොකුම ඉන්ෂුවරන්ස් එක රජයට තියෙන. එතකොට එල්.ටී.ටී.ඊ. යුද්ධය ඉවර වෙලා තිබුණේ නැහැ. ඒ වෙලාවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට මේ ඉන්ෂුවරන්ස් එක දරා ගන්න බැහැනේ, එතකොට ඒගොල්ලන් කරන්නේ රී-ඉන්ෂුවරන්ස් කරන එක.

එතකොට මේක රී-ඉන්ෂුවරන්ස් කරලා තිබුණා. රී-ඉන්ෂුවරන්ස් එකේ ඇත්තටම රී-ඉන්ෂුවරන්ස් කරලා තිබුණේ ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රයේ අසංවර්ධිත ලේඛනගත, නැත්නම් බ්ලැක්ලිස්ටඩ් ඉන්දියාවේ හිටපු බ්‍රෝකර් කෙනෙක් හරහා. ඔහු ලෝකයේ ලොකුම සමාගම් දෙකක මේ රී-ඉන්ෂුවරන්ස් එක දානවා කියලා, ඒ කාලේ මට මතක විදියට මේකේ ප්‍රීමියම් එක වෙනවා මිලියන 450ක් විතර, කොහොමහරි අනෙකුත් ගාස්තුත් එක්ක අවුරුදු දෙකේ ප්‍රීමියම් එක බිලියනයකට වැඩියි, රුපියල් කෝටි 100ක් ආසන්න වශයෙන්. එතකොට මේක ඇත්තටම රී-ඉන්ෂුවරන්ස් වෙලා තිබුණේ නැහැ. එතකොට මේ තොරතුර වාර්තා කරන්න මම ඒ වෙලාවේ රක්ෂණ සංස්ථාවේ සභාපති හිටියේ ගාමිණී සෙනරත්, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ මස්සිනා.

මං ඔහුට කතා කරනවා මේ ගැන අහන්න. එතකොට කියනවා ඉතින් මම රාජ්‍ය ආයතන ගොඩක ඒ කාලේ ගාමිණී සෙනරත් අර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට අමතරව හොටෙල්, ජියාපුරම් වලින් හදපු සිනෝ-ලංකා එකේ මේ හැමතැනම සභාපති කරලා තිබ්බනේ. එතකොට කියනවා “මම දන්නේ නැහැ ලසන්ත, මම මේක ගැන තොරතුරු, පොඩ්ඩක් ඔයා එන්න මානව හම්බවෙන්න අපි කතා කරමු” කියලා. මං කියනවා “මට ඔයාව හම්බවෙලා කතා කරන්න උවමනාවක් නැහැ, ඔයා මං අහපු එකට උත්තරයක් දෙන්න” කීවා. පස්සෙ කියනවා “නෑ මං වාහනයක් එවන්නම් දැන් රාවය ගාවට, ඔයා ඒකෙ නැගලා එන්න මානව හම්බවෙන්න” කියලා, මං ඒක ප්‍රතික්ෂේප කරනවා.

එතකොට දැන් මේ තොරතුර ගිහිල්ලා තිබුණා මේගොල්ලන්ට. ඊටපස්සේ ඒ වෙලාවේ වික්ටර් අයිවන්ගේ (අතුල අයියාගේ) පුතා චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් එයාගේ තිබුණු ඒ දක්ෂතාවයත් එක්ක එයා ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජයකට ගිහිල්ලා සම්බන්ධ වෙලා හිටියා. කොහොමහරි හොයාගෙන තිබුණා අතුල අයියාගේ පුතාගේ යාලුවෙක් හරහා පුතාට කියලා තිබුණා “මෙහෙම ස්ටෝරියක් තියෙනවා, මේක නවත්තන්න, අපි රාවයට ඇඩ්වර්ටීස්මන්ට් දෙන්නම්” කියලා. ඊට අමතරව අපිත් ආශ්‍රය කරන කලාකරුවෙක්, ඔහු ඒ කාලේ පෞද්ගලික ආයතනයක සේවය කරේ, ඔහු හරහාත් කියලා තිබුණා “මේ ස්ටෝරිය නවත්තන්න, අපි රාවයට ඇඩ්වර්ටීස්මන්ට් දෙන්නම්” කියලා. නමුත් අපි ඒක නැවැත්තුවේ නැහැ. මේ තෙල් සංස්ථාවේ ප්‍රතිරක්ෂණය, ඒ කියන්නේ ඒ ගැන මේ ස්ටෝරිය ලීඩ් නිව්ස් එකක් විදියට පල කරා. පල කරාට පස්සේ, පල කිරීමට පස්සේ දවස් කීපයකට පස්සේ අතුල අයියා, ඒ කියන්නේ වික්ටර් අයිවන් මට ඇවිල්ලා කිව්වා “ලසන්ත, ඔයාගේ මේ ස්ටෝරි එක ගැන එක්තරා ස්ථානයක කතා කරලා තියෙනවා ඔෆිස් එකක.

ඒගොල්ලන් කතා කරලා තියෙන්නේ මේ ස්ටෝරිය ගැන, මේක එලියට ගිය එක ගැන. ඒගොල්ලන් එතන කතා කරලා තියෙන්නේ ඒගොල්ලන්ට මාව තවදුරටත් තර්ජනයක් වෙනවා නම් අපි ඉවර කරලා දාමු කියලා. ඊටපස්සේ මට අතුල අයියා කිව්වා “ඔයාට දැන් ඔය තොරතුර හොයාගන්න පුලුවන් වුණා නම් මේ කවුද ඔෆිස් එක, කවුද මේකේ ඉන්න ලොක්කා, කොහෙද තියෙන්නේ කියලා ඔයාට හොයාගන්න පුලුවන් නම් හොයාගන්න” කියලා.

ඊටපස්සේ මම දවස් කීපයක් ආයෙත් මගේ සෝසස් හරහා ගියාම, ඒ රක්ෂණ සංස්ථාව තිබුණු ඒ වොක්ෂෝල් ස්ට්‍රීට් එකේම බිල්ඩින් එකක තමයි ඒ ඔෆිස් එක පවත්වාගෙන ගියේ. මං අතුල අයියාට කිව්වා ඔය කියන ඔෆිස් එක තියෙන්නේ හාබර් පාරේ, එතන ප්‍රධානියා විදියට අහවලා තමයි කටයුතු කරන්නේ කියලා. අතුල අයියා මට වෙන නැවත මුකුත් කිව්වේ නැහැ.

අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණ සහ CID පරීක්ෂණ

තමන්ව මාධ්‍ය ක්ෂේත්‍රයෙන් සහ රාවයෙන් ඉවත් කිරීමට දැඩි පීඩනයක් එල්ල වූ බවත්, එකල වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ඇතුළු මිතුරන් උපදෙස් දුන්නේ රාවයෙන් ඉවත් වන්නේ නම් රටින් පවා පිටව යන ලෙස බවත් ඔහු පැවසීය.

2015 ජනාධිපතිවරණයට ආසන්න සමයේදී තමන්ගේ ඥාතියෙකුට අයත් හෝටලයක සිදු වූ සිදුවීමකට තමන්ව බොරුවට පටලවා, CID ය ලවා අත්අඩංගුවට ගැනීමට රාජපක්ෂවරුන් දැවැන්ත උත්සාහයක නිරත වූ බවද ඔහු හෙළි කළේය. ඒ සඳහා තමන්ගේ දුරකථන වාර්තා මාස 3ක් පස්සට පරික්ෂා කර, නිවසේ තිබූ විවාහ උත්සව ඇල්බම් පවා පරීක්ෂා කරමින් මාස තුනක් තිස්සේ සී.අයි.ඩී. ය තමන්ගේ පස්සෙන් පැමිණි බව ඔහු සඳහන් කළේය.

අවසානයේ අදාළ ඥාතීන් විසින් හම්බන්තොට හිටපු නගරාධිපති නිරාජ් මහතා මාර්ගයෙන් නාමල් රාජපක්ෂ මහතා හමුවී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව, නාමල් රාජපක්ෂ මහතා CIDයට කළ දැනුම්දීමකින් පසුව එම පරීක්ෂණ නතර වූ බවද රුහුණගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

“මම මේ අත්දැකීම් අද මෙහෙම සභාවක ප්‍රකාශ කරන්නේ, මේවා පොත්වල නොලියවුණු, අනාගතයේදී පරිශීලනය සඳහා කොහේ හෝ වාර්තා වී තිබිය යුතු නිසයි. අපි එදා මාධ්‍යකරණයේ යෙදුණේ ඉතාම දුෂ්කර සහ ජීවිත තර්ජන මැද,” යැයි පවසමින් ලසන්ත රුහුණගේ මහතා සිය කතාව අවසන් කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading