ඉසුරු ඉල්ලා අස්වීම ගැන කතා දෙකක්

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා එක්වූ නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයේ සේවය කළ වෛද්‍ය ඉසුරු හේවාහෙට්ටිගේ මහතා සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසා තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ අදාළ වෛද්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන්ට ලැබී නොමැති බවයි.

ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී ඇති බවට සංගම් සභාපතිවරයා කළ ප්‍රකාශය සහ අදාළ ලිපිය නිල වශයෙන් ලැබී නොමැති බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ ප්‍රකාශය අතර පරස්පරතාවක් මතුව තිබෙනවා.

වෛද්‍යවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් භාරගෙන තිබේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දළ ඇතෙකු වූ කාවන්තිස්ස පසුගිය ඔක්තෝබර් 16 වැනිදා මියගියේ දකුණු ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාලයට සති ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

වනජීවී නිලධාරීන්ට කාවන්තිස්සට වෙඩි වැදී ඇති බවට තොරතුරු ලැබී තිබුණේ සැප්තැම්බර් 23 වැනිදායි.

ඒ අනුව නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් සැප්තැම්බර් 24 වැනිදා සිට ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබුණා.

මුල් දින හතරක ප්‍රතිකාරවලින් පසු ඇතාගේ තත්ත්වය යම්තාක් දුරට යහපත් වී තිබූ අතර ඇතා පසුව ඔහුට ඇතිවිය හැකි පීඩනය අවම කිරීම සඳහා සෘජු ප්‍රතිකාර තාවකාලිකව නතර කර තිබුණා.

ඒ වෙනුවට ඇතාගේ හැසිරීම සහ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට වනජීවී නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවා තිබූ බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් ඔක්තෝබර් 7 වැනිදායින් පසු කාවන්තිස්සට පාචන තත්ත්වයක් ඇතිවී තිබූ අතර ඔහු ආහාර ගැනීමද ක්‍රමයෙන් අඩුකර තිබුණා.

වැඩි කාලයක් ජලයේ රැඳී සිටීම සහ ශරීරය දුර්වල වීමත් සමඟ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නැවතත් බරපතළ අතට හැරී තිබුණා.

කෙසේවෙතත් කාවන්තිස්සගේ මරණයෙන් පසු ඔහුට ලබාදුන් ප්‍රතිකාර සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ වනජීවී සංරක්ෂණ ක්‍රියාකාරීන් ප්‍රශ්න මතු කළා.

විශේෂයෙන්ම ඇතාට ප්‍රතිජීවක ඖෂධ අධිමාත්‍රාවෙන් ලබාදීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හානි සිදුවී ආහාර ගැනීම අඩුවීම ඇතුළු සංකූලතා ඇතිවූයේද යන්න පිළිබඳ සැකයක් පළ වී තිබුණා.

ඉන් අනතුරුව ප්‍රතිකාර ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද පරිසරවේදීන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ප්‍රතිකාර සඳහා සහභාගි වූ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ කාවන්තිස්සට සෙෆ්ට්‍රියැක්සෝන් සහ දිගුකාලීන ක්‍රියාකාරී ඇමොක්සිසිලින් යන ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් බවයි.

එම ඖෂධ අධිමාත්‍රාවක් නොවන බවත් ඒවා හේතුවෙන් ඇතාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්ෂුද්‍රජීවී සමතුලිතතාව බිඳවැටුණු බවට එල්ල වන චෝදනාව තමන් පිළිනොගන්නා බවත් ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම ඖෂධ ලබාදෙන අතරතුර ඇතාගේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය යහපත් කිරීම සඳහා අවශ්‍ය උපකාරක ප්‍රතිකාරද ලබාදුන් බව ඔහු සඳහන් කර තිබෙනවා

මේ අතර කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් සිදුකරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඇතාට ප්‍රතිකාර කිරීමේදී කිසියම් අත්වැරදීමක් සිදුවූයේද නැතහොත් බලධාරීන්ගේ දැනුවත්භාවයකින් තොරව කිසියම් පුද්ගලයෙකු හිතාමතාම ඇතාට හානි කළේද යන්න සොයාබැලීම මෙම විමර්ශනයේ අරමුණ බව අමාත්‍යවරයා පවසා තිබුණා.

යම් වරදක් සිදුවී ඇති බව තහවුරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කර තිබෙනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading