කහඳගම අරගලයේදී ගුටි කෑව හැටි මතකයි, අපිත් එක්ක දේශපාලනය කළේ නැහැ! – සාගර කාරියවසම්

අරගලයෙන් පසුව මහින්ද කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයට එක් අවස්ථාවක පැමිණි බවට පිළිගන්නා බවත් එලෙස පැමිණීමෙන් ඔහු පක්ෂය සමඟ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූවායැයි අදහස් නොවන බවත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඇති වූ සංවාදය සම්බන්ධයෙන් ඊයේ (19) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකදී සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළා.

එහිදී මහින්ද කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන බව සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළත් ඔහු පොහොට්ටුව ලකුණ යටතේ තරග කර කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ පුද්ගලයෙකු බැවින් එහි දේශපාලන වගකීම පක්ෂයට පැවරෙන්නේද යනුවෙන් වැඩසටහන් පූර්වකයා විසින් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා පැවසුවේ, මහින්ද කහඳගම මහතා තම පක්ෂයේ සාමාජිකයෙකු නොවුණද ඔහු තම දේශපාලන කඳවුරට සම්බන්ධව සිටි අයෙකු බවයි.

මහින්ද කහඳගම මහතා තම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවට මීට පෙර තමන් ප්‍රකාශයක් සිදුකළේ, ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අවස්ථාවේ පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බව සාගර කාරියවසම් මහතා පවසනවා.

එවකට දේශපාලන පක්ෂ අතර පැවති සන්ධාන එකඟතාව අනුව අදාළ පක්ෂවලට තමන්ගේ අපේක්ෂකයන් නම් කර එම නම් පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත යොමු කිරීමට හැකියාව තිබූ බව ඔහු සඳහන් කළා.

එලෙස අදාළ පක්ෂවල ලේකම්වරුන්ගේ අත්සනින් නම් ඉදිරිපත් කළ පසු තමන් පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ලෙස නාමයෝජනා ලබාදීමට කටයුතු කළ බවද සාගර කාරියවසම් මහතා පැවසුවා.

ඒ අනුව මහින්ද කහඳගම මහතාටද නාමයෝජනා හිමිවූයේ වෙනත් පක්ෂයක් විසින් කළ ඉල්ලීමක් මත බව සාගර කාරියවසම් මහතා පවසනවා.

එබැවින් පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීම සහ පොදුජන පෙරමුණේ නිල සාමාජිකත්වය දැරීම එකම කරුණක් ලෙස සැලකිය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී වැඩසටහන් පූර්වකයා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මීට පෙර ඩේලි මිරර් පුවත්පතට කළ ප්‍රකාශයක්ද උපුටා දක්වමින් විමසා සිටියේ, මහින්ද කහඳගම මහතා මීට වසර 25කට පමණ පෙර වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන පක්ෂය සමඟ සම්බන්ධව පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වී තිබූ නමුත් බොහෝ කලකට පෙර එම පක්ෂයෙන් ඉවත්ව ඇති බව නානායක්කාර මහතා සඳහන් කර තිබුණු බවයි.

එමෙන්ම මහින්ද කහඳගම මහතාට පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධයක් පැවති බවත් 2022 අරගලය සමයේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට මුහුණදීමට ගිය පොහොට්ටුවේ කණ්ඩායම සමඟ ඔහුද සිටි බවටත් වාසුදේව නානායක්කාර මහතා චෝදනා කර තිබුණා.

කෙසේ වෙතත්සාගර කාරියවසම් මහතා සඳහන් කළේ වාසුදේව නානායක්කාර මහතාගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව නැරඹුවහොත් මහින්ද කහඳගම මහතා 2018 වසරේදී තමන් සමඟ සිටි බව නානායක්කාර මහතාද පිළිගන්නා බවට තේරුම්ගත හැකි බවයි.

නමුත් 2022 අරගලයෙන් පසුව මහින්ද කහඳගම මහතා වාසුදේව නානායක්කාර මහතා සමඟ දේශපාලන කටයුතුවල නිරත නොවූ බවට ඔහු කළ ප්‍රකාශය නිවැරදි බවට තමන් විශ්වාස කරන බවද සාගර කාරියවසම් මහතා පැවසුවා.

සාගර කාරියවසම් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩසටහන් පූර්වකයා තවදුරටත් ප්‍රශ්න කළේ, මහින්ද කහඳගම මහතා 2022 අරගලයෙන් පසුවද පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධතා පවත්වා තිබුණේද යන්නයි.

විශේෂයෙන්ම අරගලයෙන් පසුව කහඳගම මහතා නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු කාර්යාලයට සාකච්ඡාවක් සඳහා පැමිණ තිබුණේද යන්න නිවේදකයා විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා පිළිගත්තේ මහින්ද කහඳගම මහතා අරගලයෙන් පසුව එක් අවස්ථාවක නෙළුම් මාවත කාර්යාලයට පැමිණි බවයි.

එහෙත් ඔහු පැමිණියේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න තමන්ට නිශ්චිතව මතක නොමැති බවද සාගර කාරියවසම් මහතා සඳහන් කළා.

කාර්යාලයට සාකච්ඡාවක් සඳහා පැමිණීම පමණක් පදනම් කරගෙන අදාළ පුද්ගලයා එම පක්ෂය සමඟ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ බව නිගමනය කළ නොහැකි බව ඔහු පැවසුවා.

ඒ සඳහා උදාහරණයක් ලෙස සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේ තමන් සමගි ජන බලවේගය සමඟද විවිධ අවස්ථාවල සාකච්ඡා පවත්වා ඇති නමුත් ඒ හේතුවෙන් තම පක්ෂය සමගි ජන බලවේගය සමඟ දේශපාලන ක්‍රියාකාරකම් සිදුකරන බවක් අදහස් නොවන බවයි.

මේ අතර මහින්ද කහඳගම මහතා තමන්ට විශේෂයෙන් වැදගත් දේශපාලන චරිතයක් නොවන බවත්මේ ආකාරයේ දේශපාලන සංවාදයකදී ඔහු සම්බන්ධයෙන් විශාල මතකයක් තමන්ට නොමැති බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළා.

නමුත් මහින්ද කහඳගම මහතා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන බැවින් ඔහු වැනි බිම් මට්ටමේ දේශපාලන නියෝජිතයෙකුගේ ක්‍රියාකලාපයද වැදගත් බව වැඩසටහන් පූර්වකයා පෙන්වා දුන්නා.

ඔහු පොහොට්ටුව ලකුණ යටතේ තරග කර නගර සභාවට තේරී පත්වූ අයෙකු බැවින් ඔහුගේ දේශපාලන සම්බන්ධතාව සම්බන්ධයෙන් වගකීම භාරගැනීම පක්ෂ නායකත්වයට අදාළ ප්‍රශ්නයක් බව වැඩසටහන් පූර්වකයා සඳහන් කළා.

ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා කියා සිටියේ, මහින්ද කහඳගම මහතා තමන්ට මතක නොමැති පුද්ගලයෙකු බව නොව මෙම සාකච්ඡාවේදී ඔහු සම්බන්ධයෙන් විස්තරාත්මක දේශපාලන සංවාදයක් කිරීමට තරම් ඔහු පිළිබඳව විශාල මතකයක් නොමැති බවයි.

කෙසේවෙතත් ඩසටහන් පූර්වකයා තවදුරටත් පෙන්වා දුන්නේ, 2022 අරගලය සමයේ මහින්ද කහඳගම මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි බවත් එම සිදුවීම් සම්බන්ධයෙන් ඔහුට විශාල මහජන අවධානයක් යොමුවූ බවයි..

එහිදී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, අරගලය අතරතුර මහින්ද කහඳගම මහතාට අමානුෂික ආකාරයෙන් පහරදීම සිදුවූ බව තමන්ට මතක බවයි.

කෙසේ වෙතත්ම හින්ද කහඳගම මහතා අරගලයෙන් පසුව පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත නොවූ බව තමන්ගේ ස්ථාවරය බව සාගර කාරියවසම් මහතා නැවතත් අවධාරණය කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading