කාවන්තිස්ස හස්තියාට වැඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝග කළා.
වලාන දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි සහ ශාන්ත ධර්මසිරි රත්නායක යන සැකකරුවන් අද දිනයේදී වනජීවී නිලධාරීන් මාර්ගයෙන් මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී වනජීවී නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහව මහේස්ත්රාත් අනුරාදා සෙනවිරත්න මහත්මිය සැකකරුවන්ව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
එමෙන්ම සැකකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත කරුණු ලබන 28 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්රාත්වරිය වනජීවි නිලධාරීන්ට නියෝග කළා.
විශේෂයෙන්ම සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධ වූ ආකාරය නිශ්චිත දිනය ඇතුළු සවිස්තරාත්මක තොරතුරු වාර්තාවක් ලබන නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව මහේස්ත්රාත්වරිය වන ජීවී නිලධාරීන්ට අවවාද කළා.
වලාන දූශණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වණ ජීවී නිලධාරීන්ට භාරදීමෙන් අනතුරුව වනජීවී නිලධාරින් ඔවුන්ව ප්රශ්න කිරීම් වලින් අනතුරුව අද පස්වරුවේ මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී සැකකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් නඩු දෙකක් පැවරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.
මුලින්ම අධිකරණ ඉදිරියේදී රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි යන අයට විරුද්ධව පවරා ඇති නඩුව විභාගයට ගැනුණා.
එහිදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණ ඉදිරියේදී කරුණු දක්වමින් පෙන්වාදුන්නේ එම සැකකරු විමර්ශන මගින් අනාවරණ වූ කරුණු මත වලාන දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තමන්ට භාර දුන් බව අධිකරණයේදී කියා සිටියා.
එහිදී ඔහු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවත් බලපත්රයක් ඇතුව තබාගෙන සිටි එම ගිනි අවිය බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් සැකකරු කටයුතු කර තිබෙන බවත් සැකකරු එම ගිනි අවියෙන් කාවන්තිස්ස ඇතාට වෙඩි තබා ඇතැයි සැක පළ කරන බවත් වනජීවි නිලධාරින් කරුණු ඉදිරිපත් කළා.
සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ මහතා කරුණු දක්වමින් කියා සිටියේ. වනජීවීන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු කිසිදු පදනමකින් තොරව ඉදිරිපත් කළ බවයි.
ගිනි අවි බලපත්ර කොන්දේසි කිසිසේත් තමන්ගේ සේවාදායකයා විසින් උල්ලංඝනය කර නොමැති බවත් හස්තියාට තමන්ගේ සේවා දායකයා වෙඩි තිබූ බවට කිසිඳු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවත් උදය රාජපක්ෂ නීතිඥවරයා අධිකරණය ඉදිරියේදී කියා සිටියා.
හස්තයාගේ මරණයෙන් පසුව රටේ පැවති කැලඹීම් තත්වය භාවිතා කරමින් වලාන දූෂණ මර්දන අංශය විසින් ගමට කඩාවැදී පුද්ගලයින් හය දෙනෙක්ව බලපත්ර සහිත ගිනි අවි රඳවා සිටි හය දෙනෙක්ව රැගෙන ගිය බවත් ඉන් සිව් දෙනෙකු රඳවා සිටි බවත් මෙම සැකකරුවන් එවැනි ආකාරයට වලාන දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් අය බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
කිසිදු සාක්ෂියක් රහිතව පදනමකින් තොරව තමන්ගේ සේවාදායකයාට චෝදනා එල්ල කර ඇති බව පැවසූ නීතිඥවරයා, හස්තියාගේ මරණයඩ තමන්ගේ සේවා දායකයාගේ ක්රියාකලාපය කිසිසේත් හේතු වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විද්යාත්මක පරීක්ෂණ කිසිවක් මෙතෙක් සිදුවී නොමැති බවත් සඳහන් කළා.
විශේෂයෙන්ම තමන්ගේ සේවා දායකයා එම අපරාධයට සම්බන්ධතාවයක් ඇතිනම් රජය රස පරීක්ෂකවරයා හරහා අදාල තුවක්කු පරීක්ෂා කළහිත් ඒ සම්බන්ධයෙන් අනාවරණ කරගැනීමට හැකි වී තිබෙන අවස්ථාවක එවැනි කිසිදු විමර්ශනයක් සිදු නොකරමින් තමන්ගේ සේවාදායකයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් උදය රාජපක්ෂ නීතිඥවරයා කියා සිටියා.
ඉන් පසුව ශාන්ත ධර්මසිරි රත්නායක යන සැකකරු සම්බන්ධයෙන් නඩුකරය අධිකරණය ඉදිරියේදී විභාගයට ගැනුණා.
එම සැකකරු ප්රාදේශීය ලේකම් කාර්යාලයක අවුරුදු විස්සක සේවා කාලයක් තිබෙන නිලධාරියෙක් බවත් ඔහුට වගා බිම් කිහිපයක් තිබෙන බවත් අධිකරණ ඉදිරියේදී කරුණු හෙළි වුණා
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔහුට ගිනි අවියක් තිබුණද කිසිඳු දවසක එම ගිනි අවිය ඔහු පාවිච්චි කර නොමැති බවත් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී කරුණු හෙළි කළා.
මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්රශ්න කිහිපයක් මතු කළ මහව මහේස්ත්රාත් අනුරාදා සෙනවිරත්න මහත්මිය, සැකකරු හස්තයාට ගිනි අවියකින් වෙඩි තිබුණාදැයි සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි මොනවාදයි වනජීවී නිලධාරීන්ගේ විමසා සිටියා.
නමුත් වනජීව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ප්රශ්නයට නිසි පිළිතුරක් ලබා නොදුන් අතර ඒ සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරිය විවෘත අධිකරණයේදී වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ යුතු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අවධාරණය කළා.
එහිදී ඊළඟ නඩු වාරයේදී සැකකරුවන්ව නිකරුණේ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරිය නිශ්චිතව සැකකරුවන් මෙම ගිනි අවිය පාවිච්චි කරමින් කාවන්තිස්ස හස්තියාට වෙඩි තබා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ දින වකවානුව සහ අනෙකුත් විද්යාත්මකව පදනම් සාක්ෂි සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටී නම් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව වාර්තාවක් අධිකරණයට වාර්තා කළ යුතු බවට සඳහන් කළා.
ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනාව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරිය නියෝග කළා.
