හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ගලගොඩඅත්තේ ඥාණසාරට 2019 වසරේදී ලබා දුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය. මේ සම්බන්ධයෙන්, අද (ඔක්තෝබර් 19) දින හිටපු ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ සමාව අවලංගු වූයේ ජනාධිපති කාර්යාලයේ “තාක්ෂණික දෝෂයක්” නිසා බවයි. එහෙත් ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සැබෑ කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ මෙම නිවේදනය සම්පූර්ණයෙන්ම සත්යය විකෘති කරන, ජනතාව නොමඟ යවනසුළු ප්රකාශයක් බවයි.
තාක්ෂණික දෝෂයක්ද? ව්යවස්ථාපිත උල්ලංඝනයක්ද?
මෛත්රීපාල සිරිසේන සිය නිවේදනයෙන් පවසන්නේ ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල වූ තාක්ෂණික දෝෂයක් මත ඥාණසාර හිමියන් නැවත බන්ධනාගාරගත කිරීමට සිදුව ඇති බවයි. නමුත් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සමාව අවලංගු වූයේ කිසිදු තාක්ෂණික දෝෂයක් නිසා නොවේ. තීන්දුවේ පැහැදිලිව දැක්වෙන්නේ, ජනාධිපතිවරයා ලබා දුන් සමාව “අත්තනෝමතික බවත්, මහජන භාරය සහ ස්වභාවික යුක්තියේ නීති උල්ලංඝනය කිරීමක් බවත්, ඔහුගේ බලය ඉක්මවා යාමක් (ultra vires) බවත්” ය. එය හුදෙක් කාර්යාලීය අතපසුවීමක් නොව, විධායක බලය අනිසි ලෙස භාවිතා කරමින් සිදුකළ බරපතල ව්යවස්ථාපිත උල්ලංඝනයක් බව තීන්දුවේ අවධාරණය කර ඇත.
නඩු අංක පවා පටලවාගත් හිටපු ජනාධිපතිවරයා
නිවේදනයට අනුව, B 7417/10 යනු අධිකරණයට බාධා කිරීමේ නඩුව බව සිරිසේන මහතා ප්රකාශ කරයි. මෙය මුළුමනින්ම වැරදි ප්රකාශයකි. ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැදිලි කරන පරිදි, B 7417/10 යනු ප්රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ විභාග වූ නඩුවයි. ඥාණසාර හිමියන්ට දඬුවම් නියම වූ අධිකරණයට අපහාස කිරීමේ නඩුව වන්නේ අභියාචනාධිකරණයේ විභාග වූ CA (CC) Application No. 04/2016 ය (එය හෝමාගම MC 40042 වාර්තාව මත පදනම් විය). තමන් ජනාධිපති සමාව ලබා දුන් මූලික නඩුව කුමක්ද යන්න පිළිබඳව හෝ හිටපු ජනාධිපතිවරයාට අදටත් නිසි අවබෝධයක් නොමැති බව මින් මනාව තහවුරු වේ.
නිලධාරීන්ට දොස් පැවරීම සහ සැබෑ ලේඛන
අධිකරණ සහ බන්ධනාගාර අමාත්යාංශය වෙත යවා අනුමැතිය ගත යුතු බවට තමන් නියෝග කළත්, නීති අංශය භාර අතිරේක ලේකම්වරිය එම අනුමැතිය නොමැතිව තමන්ව නොමඟ යවා අත්සන ලබාගත් බවට සිරිසේන මහතා සිය නිවේදනයෙන් චෝදනා කරයි.
එහෙත්, නඩු තීන්දුවේ සම්පූර්ණයෙන්ම උපුටා දක්වා ඇති 2019 මැයි 21 දිනැති අතිරේක ලේකම්වරියගේ නිල සටහනේ (Minute) සඳහන් වන්නේ, “අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතිය මත මෙම සිරකරු හට පුර්ණ ජනාධිපති සමාව ලබාදීම සඳහා අදාළ නියෝගය අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්යාංශය වෙත යොමු කිරිම මැනවි” යනුවෙනි. එනම්, අමාත්යාංශයට නියෝගය යැවීමට ප්රථමයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ඉල්ලා තිබේ.
එහිදී සිරිසේන කර ඇත්තේ සමාව දීමට අදාළව කිසිදු හේතුවක් සටහන් නොකර හුදෙක් “අනුමත කරමි” යනුවෙන් යාන්ත්රිකව අත්සන් කිරීම පමණක් බව අධිකරණය පෙන්වා දෙයි. ශ්රේෂ්ඨාධිකරණය පවසන්නේ, ජනාධිපතිවරයා නිලධාරිනියගේ නිර්දේශය හුදෙක් අනුමත කිරීමෙන් තමන්ට පැවරී ඇති බලතල සහ වගකීම් ක්රියාත්මක කිරීම පැහැර හැර ඇති (abdicated) බවයි. තමන්ගේ ව්යවස්ථාපිත වගකීම පැහැර හැර නිලධාරීන්ට දෝෂාරෝපණය කිරීම නීතිය ඉදිරියේ වලංගු නිදහසට කරුණක් නොවන බව ඉන් තහවුරු වේ.
පෙත්සම්කරුවන්ට පහර දීම සහ නීතියේ ආධිපත්යය
මෙම තීන්දුව රාජ්ය නොවන සංවිධානයක් සහ සන්ධ්යා එක්නැලිගොඩ මහත්මිය පැමිණිලි කර ගොනුකළ නඩුවක් නිසා ලැබුණු බව හුවා දැක්වීමට මාධ්ය නිවේදනය උත්සාහ ගනී. එහෙත්, විකල්ප ප්රතිපත්ති කේන්ද්රය, ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු සහ සන්ධ්යා එක්නැලිගොඩ විසින් ගොනුකළ මෙම පෙත්සම් (S.C.F.R. 256/2019 සහ 257/2019) ඔස්සේ අධිකරණය ලබාදුන් තීන්දුව මගින් තහවුරු කළේ ජනාධිපති අභිමත බලය යනු මහජන භාරයක් විනා පෞද්ගලික වරප්රසාදයක් නොවන බවයි.
2016 ජනවාරි 25 දින හෝමාගම අධිකරණයේදී සන්ධ්යා එක්නැලිගොඩට සහ පැමිණිල්ල මෙහෙයවූ ජ්යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස්ට තර්ජනය කිරීම හා අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6ක සිරදඬුවම් නියම වූ ඥාණසාර හිමියන්ට සමාව දීම හුදෙක් අත්තනෝමතික ක්රියාවක් බව ශ්රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත. තමන් කළ බරපතල ව්යවස්ථාපිත වරද “තාක්ෂණික දෝෂයක්” ලෙස පවසා නිලධාරීන් පිට පැටවීමට හිටපු ජනාධිපතිවරයා දරන උත්සාහය, ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේ සැබෑ කරුණු ඉදිරියේ සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත්ව ඇත.

