දිවයිනේ සියලුම ප්රදේශ ආවරණය වන පරිදි අද (19) හෙට සහ අනිද්දා යන තෙදින පුරා පස්වරු 4:30 සිට රාත්රී 9:00 දක්වා වූ කාලය තුළ කලාප හතරකට බෙදා දිනකට පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව පද්ධතියේ විදුලි සැපයුම සහ ඉල්ලුම කළමනාකරණය කරගැනීම වෙනුවෙන් සමස්ත දිවයිනම ප්රධාන කලාප 4 කට වෙන් කර මෙම පැයක විදුලි විසන්ධිය සිදු කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කළා.
කෙසේ වෙතත් පද්ධති මෙහෙයුම් කටයුතුවලදී එක් එක් කාණ්ඩය යටතේ විදුලි සැපයුම අත්හිටුවන සහ යළි යථා තත්ත්වයට පත්කරන නිශ්චිත වේලාවන් අදාළ නියමිත කාල පරාසය තුළ මිනිත්තු 30 ක පමණ කාලයකින් වෙනස් වීමට ඉඩකඩ පවතින බවද ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාව වෙත දැනුම් දී තිබෙනවා.
ජාතික විදුලිබල පද්ධතියේ ජනන ධාරිතාව මෙගාවොට් 2500 සීමාව දක්වා පවත්වාගැනීමේදී මතුව ඇති ගැටලු හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා මෙම පියවර ගැනීමට සිදුව තිබෙන බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කළා.
මුලදී පැය දෙකක විදුලි කප්පාදුවක් කෙරෙහි අවධානය යොමුව තිබුණද පාරිභෝගික ජනතාවට සහ දෛනික කටයුතුවලට සිදුවන අපහසුතාව අවම කිරීම උදෙසා එය පැයක කාලයකට සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන අංශය විසින් අක්රිය වී ඇති ප්රධාන ජනන යන්ත්රයක් ලබන 22 වන දින වන විට යථා තත්ත්වයට පත්කර පද්ධතියට එක් කිරීමට කටයුතු කරමින් සිටින අතර ඊට පෙර එය යථා තත්ත්වයට පත්කරගත හොත් මෙම තෙදින විදුලි කප්පාදුව නියමිත දිනට පෙර ඉවත් කර පද්ධතිය සාමාන්ය තත්ත්වයට පත්කිරීමට අපේක්ෂා කරන බව එම සමාගම වැඩිදුරටත් පැවසුවා.
