සියඹලන්ගමුවේ කුඹුරු යායක ඇදවැටී සිටි කාවන්තිස්ස හස්තිරාජයාගේ ජීවිතය බේරාගැනීමට දැරූ අවසන් උත්සාහය ඔක්තෝබර් 16 වැනිදා පස්වරු 6.18ට අවසන් විය.
මෙරට ජීවත්ව සිටි විශාලතම සහ උසම දළ ඇතෙකු ලෙස ප්රකට වූ ගල්ගමුවේ කාවන්තිස්ස එසේ සිය අවසන් හුස්ම හෙළුවේ සති තුනකට ආසන්න කාලයක් පැවති රෝගී තත්ත්වයකින් අනතුරුවය.
එදින උදෑසන කාවන්තිස්ස කුඹුරක ඇදවැටී සිටින පුවත පැතිර ගියේ ඔහුට ආදරය කළ දහස් ගණනක් මිනිසුන්ගේ හදවත් කම්පනයට පත්කරමිනි. පශු වෛද්ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළහ. පරිසර අමාත්යාංශය හදිසි ක්රියාමාර්ග ප්රකාශයට පත් කළේය. විදේශීය විශේෂඥ සහාය ලබාගැනීමේ හැකියාව පවා සාකච්ඡාවට ලක්විය. එහෙත් ඒ සියල්ල අවසානයේ කාවන්තිස්ස මියගියේය.
මේ මරණයෙන් පසුව නැගෙන පළමු ප්රශ්නය වන්නේ කාවන්තිස්ස මියගියේ කෙසේද යන්නයි. එහෙත් එයට වඩා පුළුල් ප්රශ්නයක් තිබේ. එනම්, මෙතරම් දුර්ලභ සත්ත්වයෙකුගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට මෙරට සතුව තිබූ ආයතනික හැකියාව, විද්යාත්මක සූදානම සහ සංරක්ෂණ ප්රතිපත්තිය ප්රමාණවත් වූයේද යන්නයි. මේ සියල්ලට පිළිතුරු අප සොයාගත යුතුය. කාවන්තිස්සගේ මරණය පිළිබද සොයමින්, ඒ මරණයට වගකිවයුත්තන් බිත්තියට හේත්තු කරමින් අප යුක්තිය සොයා යා යුතුය.
එතැනින් නොනැවතී, මේ වෙද්දී මියගිය කාවන්තිස්සට අමතර අනෙක් සියලු අලිඇතුන්ට යුක්තිය ඉටු විය යුතුය. ඒ වගේම අලි මිනිස් ගැටුමේ ගොදුරු බවට පත් වූ පීඩිත මිනිසුන්ටත් යුක්තිය ඉටු විය යුත්තේ ඇතුන්ට යුක්තිය ඉටු වීමේම කොටසක් ලෙසය.
ඊයේ අප දුටුවේ කාවන්තිස්ස වෙනුවෙන් වූ අසමසම සහායකි. ගලගොඩඅත්තේ ඥාණසාර වැනි අපරාධකාරී භික්ෂුවකට චීවරය ඇන්දුවායැයි කියමින් කොච්චර කලඹන්නට දැගලුවත් කැළඹුණේ නැති සමාජයක් අද කාවන්තිස්ස වෙනුවෙන් කැළඹෙනවා අපි දුටුවෙමු. ඒ, ඇත් රාජයාට සැබෑ ලෙසම යුක්තිය අවැසි වූ හෙයිනි.
කාවන්තිස්සගේ මරණය ගැන ඇතිවන මෙන්න මේ මහා ජනතා ශෝකය තේරුම්ගැනීමද එම ප්රශ්නයට පිළිතුරු සෙවීමේ කතාවේ එක් කොටසකි. මන්ද, ශ්රී ලංකාවේ අලි ඇතුන් යනු මෙරට ජනතාවගේ සමාජ මතකයෙන්, සංස්කෘතියෙන් සහ පරිකල්පනයෙන් වෙන් කළ නොහැකි ජීවීන් වන බැවිනි. ඒ වගේම එය හුදෙක් ශෝකයක් විතරක් නොවී කාවන්තිස්සටත් අනෙකුත් ඇතුන්ටත් යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් වූ පෙළගැසීමක් ද විය යුතුය.
කාවන්තිස්ස හස්තියා මියයාම සම්බන්ධයෙන් ස්වාධීන මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව පරිසරවේදී නයනක රන්වැල්ල ප්රකාශ කර තිබේ. ඔහු කියා සිටියේ හස්තියාට වෙඩිතැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවයි. මේ විමර්ශන මීට බොහෝ පෙර සිදු විය යුතුව තිබුණු දේවල්ය.
ඇතෙකුගේ මරණයට රටක් හඬන්නේ ඇයි?
ප්රකට කලාකරුවෙකු මියගිය විට රටක් ශෝකයට පත්වීම අපට අමුතු සිදුවීමක් නොවේ. ඔහුගේ ගීත, රංගනය, සාහිත්ය නිර්මාණ හෝ වෙනත් දායකත්වයන් අපගේ ජීවිතවල කොටසක් බවට පත්ව තිබේ. ඔහු පෞද්ගලිකව හඳුනා නොසිටියද, ඔහුගේ නිර්මාණ හරහා මිනිසුන් අතර ගැඹුරු සම්බන්ධතාවක් ගොඩනැඟී තිබේ.
කාවන්තිස්ස කියන්නේත් ඒ තරම්ම දැවැන්තයෙකි. අමරදේවයන්ගේ හෝ නන්දා මාලිනියගේ සමුගැන්ම තරම්ම කාවන්තිස්සගේ සමුගැනීම අපට මහා ඛේදවාචකයකි. සමාජ මාධ්යවල ශෝකය, ආවේග සහ හැගුම්බර අදහස් ගොන්නකින් පිරී ඉතිරී යන මේ මොහොත අප සමාජය කෙතරම් මේ හස්තිරාජයන් හා ගැටගැසී ඇත්දැයි මනාව පෙන්වන්නකි.
කාවන්තිස්ස කිසිදා මිනිස් භාෂාවෙන් අප සමඟ සන්නිවේදනය කර නැතිව විය හැක. ඔහු ගීත ගැයුවේ නැත. කලා නිර්මාණ බිහි කළේ නැත. සමාජය ඉදිරියේ දේශන පැවැත්වූයේ නැත. එහෙත් තම දැවැන්ත ශරීරයෙන්, අලංකාර දළ යුවළින් සහ නිදහස් වනජීවී පැවැත්මෙන් ඔහු දහස් ගණනකගේ ආදරය දිනාගෙන සිටියේය. ඔහුගේ ඡායාරූප අලෙවි විය. ඔහුගේ සිතුවම් රැගත් චිත්ර ප්රදර්ශනයක් අදත් ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ ප්රදර්ශනය වේ. ඔහු අපේ මහා සංකේතයකි. ඔහු අපට අභිමානයකි.


අද ලයනල් වෙන්ඩ් ගැලරියේ ආරම්භ වුණ සමීර අක්මීමණ නම් වු දැවැන්ත සිතුවම් ශිල්පියාගේ “Emerald and Ash” නමින් නම් කරන ලද අගනා සිතුවම් ප්රදර්ශනයේ එක පසෙක බිත්තියක කාවන්තිස්සගේ විරාජමාන මේ සිතුවම එල්ලා තිබෙනවා.එහිම අනෙක් පස බිත්තියේ එල්ලා තිබෙන්නේ මේ රක්ත වර්ණ සිතුවමයි.එමගින් ඔහු අර්ථ දක්වා තිබෙන්නේ අලි මිනිස් ගැටලුවට වනජීවීය ලබා දෙන විහිළු සහගත එහෙත් ලේ වැකෙන භායානක ප්රවේශය පිළිබඳව යි.
අද දිනට මෙයට වඩා ගැලපෙන කතාවක් මට මතක් වෙන්නේ නැහැ.
– නයනක රන්වැල්ල
අන්න ඒ අර්ථයෙන් ශ්රී ලාංකිකයන්ගේ සංස්කෘතික පරිකල්පනයේ ඇතාට හිමිව ඇත්තේ එතරම්ම මහා තැනකි. ඇතා රාජකීයත්වයේ සංකේතයකි. බෞද්ධ සාහිත්යයේ සහ ජාතක කතාවල ඇතා ප්රමුඛය. පෙරහර සංස්කෘතියේ සුවිශේෂී නියෝජනයක් මෙන්ම ජනකතාවල, විහාර සිතුවම්වල සහ කාව්ය සම්ප්රදාය තුළ ඇතා නිතර හමුවන්නේ රාජකීයත්වය හා ගැටගැසෙමින්ය.
ඒ සියල්ල අභිබවා අද සංචාරකයන් කොපමණ මේ ඇතුන් දකින්නට එන්නේද? ප්රකට වෙළද නාම කීයක් ඇතුන්ව තමන්ගේ අලෙවි කිරීමේ සංස්කෘතියේ කොටසක් කර තිබෙන්නේද? ඡායාරූප, පිළිම, ප්රදර්ශන භාණ්ඩ මෙන්ම ඇදුම් කීයක අප ඇතාව එල්ලාගෙන සිටින්නේද?
එහෙත් මේ සංස්කෘතික ආදරය මැද්දේම ඇතුන් එකිනෙකා දිනෙන් දින සමුගනී.
අපි ඇතාට ගෞරව කරන්නේ ඔහුගේ තේජස නිසාය. එහෙත් ඇතැම්විට ඒ තේජස අපට අවශ්ය ආකාරයට ප්රදර්ශනය කිරීම සඳහා ඔහුගේ නිදහස අහිමි කරන්නෙමු. අපි ඇතාට ආදරය කරන්නේ ඔහුගේ දැවැන්ත ශරීරය නිසාය. එහෙත් ඒ ශරීරය නිදහසේ ගමන් කිරීමට අවශ්ය වනාන්තර සහ සංචරණ මාර්ග ආරක්ෂා කිරීමට අපොහොසත් වන්නෙමු.
කාවන්තිස්සගේ ජීවිතයේ වැදගත්ම සුවිශේෂත්වය වූයේ ඔහුගේ නිදහසයි. ඔහු මිනිස් අණට කීකරු වූ ඇතෙකු නොවීය. ඔහු සියඹලන්ගමුවේ, ගල්ගමුවේ සහ ඒ අවට වනාන්තරවල තමන්ගේම ස්වාභාවික ජීවිතයක් ගතකළ සත්ත්වයෙකි.

කාවන්තිස්ස වෙනුවෙන් අද ප්රකාශ වන ජනතා ශෝකයේ ඇත්තම අර්ථය ඇත්තේ එතැනය. මිනිසුන්ට ඔහුගේ ජීවිතය පාලනය කළ නොහැකි වුවත්, එය අගය කිරීමට හැකි විය. එහෙත් එය රැක ගැනීමට නොහැකි විය. මිනිසුන් මේ ඇත් රාජයාව රැක ගැනීමට රටේ ව්යවස්ථාවෙන් හා නීතිරීති පද්ධතියෙන් රජයට භාර කර තිබුණි. රජයේ ඇමතිවරයෙක් වගකීම බාර ගැනීමට සිටියේය. ඇතාෙගේ මරණය ගැන වගකීම ඔහුට පැවරෙන්නේ ඒ නිසාය.
සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 16 දක්වා: කලින් දුටු අනතුරක අවසානය
අපි වනජීවී විශේෂඥයන් නොවෙමු. ඒ නිසාම අප කළේ විශේෂඥයන් කියා ඇති හා ලියා ඇති දේවල් පිරික්සීමය. ඇතුන් වෙනුවෙන් කතා කරන ක්රියාධරයන් කියන දේවල් ගැන සොයා බැලීමය.
කාවන්තිස්සගේ අවසන් සති කිහිපය පිළිබඳ සොයා බැලීමේදී වැදගත් කරුණක් පැහැදිලි වෙයි. ඔහුගේ රෝගී තත්ත්වය එකවර මතුවූ සිදුවීමක් නොවේ. සති කිහිපයක් තිස්සේ නිරීක්ෂණය වූ, වරින් වර වෙනස් වූ සහ විවිධ පාර්ශ්වයන්ගේ අවධානයට ලක්වූ තත්ත්වයකි.
පරිසර පුවත් සේවයක් වන මොන්ගාබේ වෙබ් අඩවිය වෙනුවෙන් මාලක රොද්රිගෝ ඔක්තෝබර් 9 වැනිදා පළකළ විශේෂාංගයට අනුව, වනජීවී ඡායාරූප ශිල්පී පැතුම් බණ්ඩාර සැප්තැම්බර් 20 වැනිදා ගල්ගමුව ප්රදේශයේදී කාවන්තිස්ස නිරීක්ෂණය කර තිබුණි. ඊට පසුදින ඇතා කොර ගසමින් ගමන් කරන බව ඔහුගේ අවධානයට ලක්විය. ඇතාගේ ඉදිරි දකුණු පාදයේ දණහිස ආසන්නයේ තුවාලයක් දක්නට තිබුණි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 24 වැනිදා උස්ගල සියඹලන්ගමුව වැව ආශ්රිත ප්රදේශයේදී ඇතාට ප්රතිකාර ආරම්භ කළේය. ඇතා නිර්වින්දනය කර තුවාලය පිරිසිදු කිරීම සහ ප්රතිජීවක ඖෂධ ලබාදීම සිදුකර තිබුණි.
සැප්තැම්බර් 27 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ වනජීවී පශු වෛද්යවරුන් අඛණ්ඩව ඇතාට ප්රතිකාර කරන බවත්, තත්ත්වය ස්ථාවර බවත්ය.
ඔක්තෝබර් 4 වැනිදා එම පුවත්පතේ තවත් වාර්තාවක සඳහන් වූයේ පාදයේ තුවාලය සුව අතට හැරෙමින් පවතින බවයි. නැවත නිර්වින්දනය කර ප්රතිකාර කිරීමේ අවශ්යතාවක් නොමැති බවද පශු වෛද්යවරුන් ප්රකාශ කර තිබුණි.
එහෙත් මේ කතා මැද්දේ කාවන්තිස්සගේ තේජවන්ත ශරීරය මරණය කරා ගමන් කරමින් සිටියේය. අපට වගකීම් විරහිත ලෙස නිශ්චිතව මරණයට හේතුව කියන්නට නොහැකි නමුත්, ප්රකටම චෝදනාව කිව හැක. ඒ, කාවන්තිස්සට ලබා දුන් ප්රතිකාරම ඔහුට දරන්නට නොහැකි වූ බවය. ඒවා තුළින්ම මරණය වේගවත් කළ බවය.

වනජීවී දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 16 වැනිදා ලබාදුන් පැහැදිලි කිරීම අනුව, ඔක්තෝබර් 6 සහ 7 දිනවලදී කාවන්තිස්සගේ සෞඛ්ය තත්ත්වය යළිත් පිරිහී තිබුණි. මල සාම්පල පරීක්ෂා කිරීමෙන් පාචන තත්ත්වයක් හඳුනාගෙන තිබූ අතර, ආහාර ගැනීම ප්රතික්ෂේප කිරීමද නිරීක්ෂණය වී ඇත.
ඉන් අනතුරුව වෙනත් පශු වෛද්ය විශේෂඥයන්ගේ සහාය ඇතිව නැවත ප්රතිකාර ආරම්භ කර තිබේ.
මේ අවස්ථාවේදී ඇතා දිවා කාලයේ වැඩි වේලාවක් ජලයේ රැඳී සිටීමත්, රාත්රියේ කෙටි වේලාවක් ගොඩබිමට පැමිණීමත් නිරීක්ෂණය වී තිබුණි.
ඔක්තෝබර් 15 වැනිදා පස්වරු හතට පැතුම් බණ්ඩාර පළකළ සමාජ මාධ්ය සටහනක සඳහන් වූයේ එදිනද කාවන්තිස්ස ජලයේ සිටි බවයි. පෙර දින රාත්රියේ ඇතා යම් ආහාර ප්රමාණයක් ගෙන ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එය යහපත් ලක්ෂණයක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
එහෙත් පසුදා උදෑසන වනවිට කාවන්තිස්ස කුඹුරක ඇදවැටී සිටියේය.
ප්රතිකාර, විශේෂඥ සාකච්ඡා, අමාත්ය මැදිහත්වීම්, හදිසි ප්රතිචාර සැලසුම් සහ විදේශීය සහාය ලබාගැනීමේ යෝජනා අතරතුර ඔහු මියගියේය.
මෙයින් නැගෙන වැදගත් ප්රශ්නය වන්නේ අවසන් දින සිදුකළ ප්රතිකාර පමණක් නොව, රෝගී තත්ත්වය මුලින්ම හඳුනාගත් අවස්ථාවේ සිට ක්රියාත්මක වූ සමස්ත වෛද්ය හා නිරීක්ෂණ ක්රියාවලිය කෙතරම් ප්රමාණවත් වූයේද යන්නයි. අද තායිලන්තයෙන් ප්රතිකාර කිරීමට විශේෂඥයන් ගෙන්වන බව කියන අය මීට දින කීයකට පෙර ක්රියාත්මක විය යුතුව තිබුණේද?
විශේෂයෙන් කාවන්තිස්ස මරණයට පත් වීමට මූලිකම හේතුව වෙඩි තැබීමකින් සිදු වූ තුවාලයක් බව පෙනී යයි. ඒ බව මේ පිළිබද කතා කරන සියලුදෙනා කියන්නකි. එසේ නම් ගැටලුවේ මුල ඇත්තේ කාවන්තිස්ස වැනි දැවැන්තයෙකු ගැන
වෛද්ය නොසැලකිල්ලක් සිදුවූයේද? චෝදනා සහ සාක්ෂි අතර වෙනස
කාවන්තිස්සගේ මරණයට පෙර සිටම පශු වෛද්ය ප්රතිකාර සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබුණි. මරණයෙන් පසුව එම විවේචන තවත් දැඩි විය. පෙර කී පරිද්දෙන්ම ලිපිය ලියන අපි මේ පිළිබද විශේෂඥයන් නොවෙමු. එහෙත් අපට විශ්වාස කළ හැකි, විෂය දන්නා බොහෝ දෙනෙකු මේ චෝදනා එල්ල කරයි. අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී මේ ගැන නිසි විමර්ශනයකින් මධ්යස්ථ නිගමනයක් ලැබෙනතුරුය.
පරිසර ක්රියාකාරික නයනක රන්වැල්ල ඔක්තෝබර් 16 වැනිදා මාධ්ය හමුවකදී පැහැදිලිව මේ ගැන චෝදනා කළේය.
ඔහු ප්රකාශ කළේ ඇතාගේ ආසාදනය නිසි ලෙස හඳුනාගැනීමට පෙර ප්රතිජීවක ඖෂධ ලබාදී තිබූ බවයි. එමෙන්ම ඇතා නිර්වින්දනය කළ අවස්ථාවේ තුවාලයේ ස්වභාවය හඳුනාගැනීමට අවශ්ය පරීක්ෂණ සිදු නොකළ බවටත් ඔහු චෝදනා කළේය.
නිර්වින්දනය කළ ඇතා සමඟ ඇතැම් වනජීවී නිලධාරීන් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට යොමුවූ බවටද ඔහු චෝදනා කළේය. නැවත නැවත ඖෂධ විදීම සහ අනවශ්ය ලෙස ඇතාට සමීපවීමෙන් මානසික ආතතියක් ඇතිවූ බවත් ඔහුගේ අදහස විය.
වනජීවී දෙපාර්තමේන්තුව ලබාදුන් පැහැදිලි කිරීම අනුව සැප්තැම්බර් 24 වැනිදා ප්රතිකාර ආරම්භ කිරීමේදී රුධිර සාම්පල ලබාගෙන පරීක්ෂාවට යොමුකර තිබේ. ඔක්තෝබර් 6 සහ 7 දිනවල මල සාම්පල පරීක්ෂාකර පාචන තත්ත්වය හඳුනාගෙන ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා උදෑසන නැවත රුධිර සාම්පල ලබාගෙන තිබේ.
කාවන්තිස්සට පෙර භාතිය: නැවත නැවත මතුවන අර්බුදය
කාවන්තිස්සගේ මරණය පිළිබඳ සාකච්ඡාවේදී 2025 ජූලි 15 වැනිදා මියගිය භාතිය ඇතා අමතක කළ නොහැකිය.
වෙඩි තුවාල ලැබූ භාතිය පසුව පොල්පිතිගම ප්රදේශයේ ජලය සහිත වළකට වැටී බරපතළ අසාධ්ය තත්ත්වයකට පත්විය. පේරාදෙණිය විශ්වවිද්යාලයේ හිටපු පශු වෛද්ය පීඨාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු කණ්ඩායම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළහ. එහෙත් දිගු කාලයක් වැටී සිටීම හේතුවෙන් මාංශ පේශි හා රුධිර සංසරණයේ ඇතිවූ සංකූලතා ඇතුළු තත්ත්වයන් මධ්යයේ ඔහු මියගියේය.
භාතියගේ මරණයටත් කාවන්තිස්සගේ මරණයටත් එකම හේතුවක් තිබුණා යැයි කිව නොහැකිය. එහෙත් එම සිදුවීම් දෙකෙන්ම මතුවන්නේ තුවාල ලැබූ දැවැන්ත වන සතෙකු හඳුනාගැනීමේ සිට, ප්රතිකාර කිරීම, දිගුකාලීනව නිරීක්ෂණය කිරීම සහ හදිසි තත්ත්වයකට ප්රතිචාර දැක්වීම දක්වා වූ සමස්ත ක්රියාවලිය පිළිබඳ ප්රශ්නයකි.
මේ රටේ වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් මීටත් වඩා උදාහරණ ඕනෑතරම් තිබේ.
2017 වසරේ ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය වූ අවස්ථාවේ රටම කම්පනයට පත්විය. ඔහුගේ මළසිරුර සොයාගන්නා විට වෙඩි තුවාල තිබූ අතර, දළ කපාගෙන ගොස් තිබුණි.
එම සිදුවීම පිළිබඳ රජයේ විගණන වාර්තාවකින්ද බරපතළ ගැටලු පෙන්වා දී තිබුනි. දළ පූට්ටුවාගේ ආරක්ෂාව සඳහා ප්රමාණවත් පියවර නොගැනීම, ඔහුගේ සංචරණ රටාව නිසි ලෙස හඳුනා නොගැනීම සහ ඔහුට තිබූ පැරණි තුවාල සම්බන්ධයෙන් ගත යුතුව තිබූ ආරක්ෂක පියවරවල දුර්වලතා එම විගණන නිරීක්ෂණ අතර විය.
ඊට අමතරව, වන අලින්ගේ මරණ සම්බන්ධයෙන් ප්රමාණවත් විමර්ශන සිදු නොවීම සහ ඇතැම් අවස්ථාවල නිලධාරීන්ගේ නොසැලකිල්ල පිළිබඳවද විගණනයෙන් අවධානය යොමුකර තිබුණි.
දළ පූට්ටුවාගේ ඝාතනයෙන් පසු 2017 දෙසැම්බර් මාසයේදී වනජීවී, පොලිස් සහ ආරක්ෂක අංශ එක්ව ක්රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළක් සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය පවා ලබාදී තිබුණි.
එහෙත්, වසර නවයකට ආසන්න කාලයකට පසුත් තවත් ප්රකට දළ ඇතෙකුගේ ආරක්ෂාව සහ ප්රතිකාර පිළිබඳව මූලික ප්රශ්න මතුවෙයි
දළ පූට්ටුවාගේ සිට කාවන්තිස්ස දක්වා අහිමි වූ උරුමය
කාවන්තිස්ස සමඟ කලක් සැරිසැරූ සංඛ නමැති තරුණ ඇතා 2022 වසරේ වළකට වැටී මියගියේය. ඔහුගේත් පාදයකට වෙඩි වැදීමෙන් ඇතිවූ සංචරණ අපහසුතාව එම අනතුරට දායක විය.
කාවන්තිස්ස සමඟ ඡායාරූපවල පෙනී සිටි තනි දළයක් සහිත චණ්ඩි ඇතා 2024 වසරේ වෙනත් ඇතෙකු සමඟ ඇතිවූ ගැටුමකින් ලැබූ මාරාන්තික තුවාල හේතුවෙන් මියගියේය.
2007 වසරේ පානම ප්රදේශයේ කතිර දළ ඇතාගේ මරණයද මෙවැනිම සිදුවීමකි.
ශ්රී ලංකාවේ දුර්ලභ වන අලි ඇතුන්ගේ ජීවිත අඛණ්ඩව විවිධ අවදානම්වලට ලක්වෙමින් තිබීම ඒ සියලු කරුණු සමග ඉතා පැහැදිලිව පෙනී යයි.
සෑම අලියෙකුටම ආරක්ෂාව ලැබිය යුතුය. නමුත් දළ ඇතුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ දුර්ලභ ජානමය සහ ශාරීරික ලක්ෂණයයි.
පරිසර අමාත්යවරයා 2026 ජනවාරි මාසයේදී ලබාදුන් තොරතුරු අනුව, 2024 වන අලි සමීක්ෂණයෙන් මෙරට වන අලි 7,451ක් වාර්තා වී තිබේ. දළ ඇතුන්ගේ ප්රතිශතය සියයට 6.5ක් ලෙසද සඳහන් කර තිබුණි.
සද්දන්තයන්ගේ නිජබිම අපි අත්පත් කරගෙන තිබේද?
කාවන්තිස්ස ඇතුළු ඇතුන්ගේ මරණයට හේතු අතර ඇති අනෙක් පුළුල් අර්බුදය අලි–මිනිස් ගැටුමයි.
මෙම මරණයට දින දෙකකට පෙර, ඔක්තෝබර් 14 වැනිදා, රොයිටර්ස් පුවත් සේවය ශ්රී ලංකාවේ අලි–මිනිස් ගැටුම පිළිබඳ විශේෂ ඡායාරූප සහිත වාර්තාවක් පළ කළේය.
එම වාර්තාවට අනුව 2019 වසරේ සිට ශ්රී ලංකාවේ අලි–මිනිස් ගැටුමෙන් වසරකට සාමාන්යයෙන් අලින් 402ක් සහ මිනිසුන් 138ක් මියගොස් තිබේ. 2023 වසරේදී වාර්තා වූ අලි මරණ සංඛ්යාව 488කි.
මෙහිදී රොයිටර්ස් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ මෙරට වන අලින්ගෙන් සියයට 70ක් පමණ ආරක්ෂිත ප්රදේශවලින් පිටත ජීවත්වන බවයි.
එනම්, අපේ රටේ අලි සංරක්ෂණ ප්රශ්නය ජාතික වනෝද්යාන කිහිපයකට සීමා කළ නොහැකිය.
අලින්ගේ වාසස්ථාන සහ සංචරණ මාර්ග පිහිටා ඇත්තේ කෘෂිකාර්මික ඉඩම්, ගම්මාන, මහාමාර්ග සහ ජලාශ ආශ්රිත භූමි සමඟ අන්තර් සම්බන්ධිත ප්රදේශවලය.
ක්රෙග්
අහමඩ් 1970 දශකයේදී කෙන්යාවේ ජීවමාන ජාතික ස්මාරකයක් ලෙස නම්කර විශේෂ ආරක්ෂාවක් ලබාදුන් ඇතෙකි. ඔහු 1974 වසරේදී ස්වාභාවික හේතු මත මියගියේය.
ක්රේග් 2026 ජනවාරි මාසයේදී මියගිය තවත් සුප්රසිද්ධ අප්රිකානු ඇතෙකි. ඔහුගේ ආරක්ෂාව සඳහා වනජීවී නිලධාරීන්, සංරක්ෂණ සංවිධාන සහ ප්රදේශයේ ප්රජාව දායක වූ වැඩපිළිවෙළක් ක්රියාත්මක විය.
මෙවැනි ආරක්ෂක ක්රමවේද ශ්රී ලංකාවටද හඳුන්වා දිය යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබේ.
ශ්රී ලංකා වන අලි සංරක්ෂණ සංගමය විසින් දුර්ලභ දළ ඇතුන් ජීවමාන ජාතික උරුමයන් ලෙස හඳුනාගැනීම, විශේෂ ආරක්ෂක ඒකක පිහිටුවීම, චන්ද්රිකා තාක්ෂණය ඔස්සේ සංචරණ මාර්ග නිරීක්ෂණය කිරීම සහ ප්රදේශවාසීන්ගෙන් තොරතුරු ලබාගැනීමේ ජාලයක් නිර්මාණය කිරීම වැනි යෝජනා බොහෝය.
ඒවා කෙසේ වෙතත්, අපට ඇතුන්ව තනිව ආරක්ෂා කළ නොහැක. අප ආරක්ෂා කළ යුත්තේ වනාන්තර පද්ධති වේ.
මේ මරණයෙන් පසුව තවත් ප්රකාශන මාලාවක් නිකුත් කිරීමෙන් ඔබ්බට ගිය ප්රතිපත්තිමය වෙනසක් අවශ්යය.
පළමුව, කාවන්තිස්සගේ මරණය පිළිබඳ ස්වාධීන පශු වෛද්ය පරීක්ෂණයක් පැවැත්විය යුතුය. මරණයට හේතුව සහ එයට දායක වූ සාධක පමණක් නොව, ඇතාගේ සෞඛ්ය තත්ත්වය පිරිහීමේ ක්රියාවලියද සවිස්තරාත්මකව හඳුනාගත යුතුය.
දෙවනුව, සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 16 දක්වා සිදුකළ ප්රතිකාරවල සම්පූර්ණ වාර්තාව විශේෂඥ සමාලෝචනයකට ලක් කළ යුතුය. පරීක්ෂණ, ඖෂධ, මාත්රා, නිරීක්ෂණ සහ ප්රතිකාර වෙනස් කළ අවස්ථා පිළිබඳ කාලරේඛාවක් එයින් නිර්මාණය කළ හැකිය.
තුන්වනුව, තුවාල ලැබූ වන අලියෙකුට ප්රතිකාර කිරීම සඳහා ජාතික මට්ටමේ සම්මත ක්රියාපටිපාටියක් අවශ්යය. නිර්වින්දනය, සාම්පල ලබාගැනීම, ආසාදන හඳුනාගැනීම, ප්රතිකාර කිරීමෙන් පසු අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සහ ඇදවැටුණු විශාල සතෙකු සඳහා හදිසි මැදිහත්වීම් යන සියල්ල එයට ඇතුළත් විය යුතුය.

සිව්වනුව, වනජීවී පශු වෛද්ය ඒකකවලට අවශ්ය කාර්ය මණ්ඩලය, ප්රවාහන පහසුකම්, රෝග විනිශ්චය උපකරණ සහ හදිසි ප්රතිචාර පහසුකම් ලබාදීම අත්යවශ්යය.
පස්වනුව, දුර්ලභ දළ ඇතුන්ගේ සංචරණය පිළිබඳ විද්යාත්මක තොරතුරු පද්ධතියක් නිර්මාණය කළ යුතුය. එය සතුන්ගේ සෞඛ්ය තත්ත්වය සහ අනතුරු හඳුනාගැනීමට උපකාරී විය යුතු අතර, ඇත් දළ සොරුන්ට එම සතුන්ගේ පිහිටීම හෙළිවන ආකාරයේ අනාරක්ෂිත තොරතුරු ප්රසිද්ධ නොකළ යුතුය.
හයවනුව, නීති විරෝධී වෙඩි තැබීම්, උගුල් තුවක්කු සහ මාරාන්තික විදුලි රැහැන් සම්බන්ධයෙන් විමර්ශන හා නීතිය ක්රියාත්මක කිරීම ශක්තිමත් කළ යුතුය. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනවල ප්රගතිය පිළිබඳ මහජන වගවීමක්ද තිබිය යුතුය.
හත්වනුව, අලි සංචරණ මාර්ග සහ ජල මූලාශ්ර ආරක්ෂා කිරීම ඉඩම් භාවිත සැලසුම්කරණයේ අනිවාර්ය අංගයක් බවට පත් කළ යුතුය. මෙහිදී ගොවීන්ගේ අයිතිවාසිකම්, ඉඩම් හිමිකම් සහ ජීවනෝපාය නොසලකා හැරිය නොහැකිය. සාධාරණ වන්දි, ආරක්ෂිත වගා ක්රම සහ විකල්ප ආදායම් මාර්ග සැපයීම එම සංරක්ෂණ ප්රතිපත්තියේම කොටසක් විය යුතුය.
අවසානයේදී, අලි–මිනිස් ගැටුම වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් භාරදී විසඳිය හැකි ගැටලුවක් නොවන බව පිළිගත යුතුය. එයට ඉඩම්, කෘෂිකර්ම, වාරිමාර්ග, ප්රවාහන, පරිසර සහ ප්රාදේශීය පරිපාලන ආයතනවල ඒකාබද්ධ මැදිහත්වීමක් අවශ්යය.
කාවන්තිස්ස වෙනුවෙන් අද මල් පුදකරන්නට, ශෝක පණිවුඩ ලියන්නට හෝ ඔහුගේ ඡායාරූප බෙදාහදාගන්නට අපට පුළුවන.
නමුත් ඔහුට සැබැවින්ම අවශ්ය වූයේ ඒ කිසිවක් නොවේ.
ඔහුට අවශ්ය වූයේ නිදහසේ ගමන් කළ හැකි වනාන්තරයක්, ආරක්ෂිත ජල මූලාශ්රයක්, ආහාර සොයා යා හැකි සංචරණ භූමියක් සහ අසනීප වූ අවස්ථාවක ජීවිතය බේරාගැනීමට හැකි සත්කාර පද්ධතියකි.
මේ රටේ ඉතිරිව සිටින අග්බෝ, මහසෙන් සහ තවත් දුර්ලභ වන අලි ඇතුන්ටද අවශ්ය වන්නේ එවැනිම ජීවන අවකාශයකි.
