ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම වෙනුවෙන් සත්කාරකත්වය දැරීම වෙනුවෙන් MTV (එම්ටීවී) පුද්ගලික සමාගමට (සිරස මාධ්‍ය ජාලයට) රුපියල් මිලියන 104ක (රු. 104,603,876) මුදලක් ආණ්ඩුව විසින් ලබාදීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීන්දුවක් ලබාගෙන ඇත.
ඒ එම සමුළුව, ඊට අදාළ රැස්වීම්, සංගීත උළෙල සහ විනෝද චාරිකා වැඩසටහන සඳහා සත්කාරකත්වය දැරීම වෙනුවෙන් එම්ටීවී පුද්ගලික සමාගමට වැයවන මුදල වෙනුවෙන් අනුග්‍රහකත්වයක් ලබාදීම වෙනුවෙනි.
ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් 2026.09.17 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2026.09.28 දින නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති අතර එදින එම නිරීක්ෂණවලට යටත්ව එම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය එදින හිමිවී ඇත.
ඒ අනුව එම කැබිනට් මණ්ඩල තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය 2026 ඔක්තෝබර් 06 දින සහිතව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්ට හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයාට යොමුකර ඇත. එහි පිටපත් ජනාධිපති ලේකම්, නීතිපති, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා විගණකාධිපතිට යොමුකර ඇත.
ඒ යටතේ අනුමැතිය ඉල්ලා ඇත්තේ,
1.ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වන මහා සමුළුව සහ ඊට අදාළ රැස්වීම්, එම සංගමයේ (ABU) සංගීත උළෙල සහ විනෝද චාරිකා වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේදී සත්කාරකත්වය දැරීම වෙනුවෙන් MTV නාලිකා (පුද්ගලික) සමාගමට අනුග්‍රාහකත්වය ලබා දීම සඳහා අනුමැතිය ලබාදීම,
2. අපේක්ෂිත ආයෝජන ප්රතිලාභ පාලනය කරන එකඟ වූ නියම සහ කොන්දේසි මෙන්ම, පාර්ශවයන්ගේ අදාළ යුතුකම්, වගකීම්, සහ බැඳීම් ද දක්වන අවබෝධතා ගිවිසුමක් ( MOU ) MTV නාළිකා (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) අතර ඇතිකර ගැනීම,
3. ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වන මහා සමුළුව සඳහා ශ්‍රී ලංකාවේදී සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ඵඔඪ නාලිකා (පුද්ගලික) සමාගමට රුපියල් 104,603,876.00 ක මුදලක් වෙන් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට (SLTPB) අනුමැතිය ලබාදීම,
4. එකතු කළ අගය මත බද්ද (VAT) ඇතුළුව, රුපියල් 62,762,326.00 ක් වන 60% ක පළමු ගෙවීම 2026 සැප්තැම්බර් 30 වන දිනට හෝ එදිනට පෙර සිදුකිරීම,
5. ආසියානු විකාශන සංගමයේ (ABU) මෙම උත්සවය සාර්ථකව අවසන් වූ බව තහවුරු කරමින්, එම සංගමය (ABU) විසින් නිකුත් කරනු ලබන නිල පිළිගැනීමේ ලිපියක් සහ එකඟවූ ක්‍රියාකාරකම් හා භාර දිය හැකි දෑ සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇති බව තහවුරු කරමින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සමාලෝචන කමිටුව විසින් සකස් කරන ලද සවිස්තරාත්මක නිම කිරීමේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට යටත්ව, එකතු කළ අගය මත බද්ද (VAT) ඇතුළුව රුපියල් 41,841,550.00 ක් වන 40% ක ඉතිරි අවසන් ගෙවීම, 2026 නොවැම්බර් 17 වන දින හෝ එදිනට පෙර සිදුකිරීම සඳහාය.
එම්ටීවී මාධ්‍ය ජාලය සත්කාරකත්වය වෙනුවෙන් ඔවුන්ට වැයවන මුදල් සම්බන්ධයෙන් වන මූල්‍ය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.
ඒ අනුව එම සමුළුවේ ප්‍රධාන රැස්වීම සහ අතිරේක රැස්වීම් වෙනුවෙන් ශාලා පහසුකම් හා ආහාර පාන වෙනුවෙන් දින 4ක කාලයකට රුපියල් 46,542,180 ක්ද, 5 වන දින සිදුකරන විනෝද චාරිකාව සඳහා රුපියල් 12,618,000 ක්ද, ප්‍රධාන රැස්වීම හා අතිරේක රැස්වීම් නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් 24,685,254 ක්ද, හදිසි අවස්ථා සැලසුම් සඳහා 3%ක් හෙවත් රුපියල් 2,514,553 ක්ද, බදු වශයෙන් රුපියල් 18,270,890ක්ද වශයෙන් රුපියල් 104,603,876 ක් ඉදිරිපත් කර තිබේ.
ලෝකය පුරා විවිධ ක්ෂේත්‍ර හෝ වෘත්තීන් මත සිදුවන එකතු වීම් තිබේ. ඒ සමහර ගෝලීය හෝ ලෝක සංවිධාන වශයෙන් හඳුන්වන අතර සමහර එකතුවීම් මහද්වීප හෝ වෙනත් ආකාරයේ කලාප වශයෙන් සිදුවේ. නැත්නම් ලෝක හෝ ගෝලීය සංවිධානයේ කලාපීය සංවිධාන වශයෙන් කටයුතු කරයි.
මෙම සංවිධානවල ගෝලීය හෝ කලාප සංවිධානවල වාර්ෂික සමුළු පැවැත්වීම සාමාන්‍ය තත්වයකි. එහිදී සිදුවන්නේ එම සංවිධානයේ එක් සාමාජික සංවිධානයක් හෝ එම රටේ සාමාජිකත්වය දරන සංවිධාන සියල්ල එක්වී වාර්ෂික සමුළුව තමන්ගේ රටේ පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාගැනීමයි.
එම සත්කාරකත්වය දැරීමේදී ඊට අනෙකුත් රටවලින් සහභාගි වන නියෝජිතයින් සඳහා නවාතැන්, ආහාර, ගමනා ගමන පහසුකම් හා සමුළු පහසුකම් දැරීම සත්කාරකත්වය දරන සංවිධාන විසින් සිදුකරනු ලබයි. එකී වියදම් සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වයන් එම සංවිධානවලින් දැරීම හා හෝ වෙනත් පාර්ශවවලින් ලබාගැනීම සත්කාරකත්වය ලබාගන්නන්ගේ වගකීම වන අතර බොහෝ විට ඊට ගෝලීය හෝ කලාපීය සංවිධානයද මූල්‍යමය වගකීමක් දරනු ලබයි.
එහිදී සත්කාරකත්වය දරන සංවිධානවලට අයත් රට විසින් සිදුකරනු ලබන්නේ එම සමුළුව සඳහා තම රටට පැමිණෙන වෙනත් රටවල නියෝජිතයින් සඳහා බාධාවකින් තොරව පැමිණීම සඳහා වීසා පහසුකම් සැපයීමයි. රටට පැමිණීම සඳහා වීසා ගාස්තුවක් ඇත්නම් එය නිදහස් කිරීම හෝ අඩු කිරීම ද ඒ යටතේ සිදුකරනු ලබයි.
නොඑසේව සත්කාරකත්වය දරන සංවිධානයට වැයවන මුදල රජයේ මුදලින් ගෙවීමක් සිදුකරනු නොලබයි. එසේ වුවද එම්ටීවී මාධ්‍ය ජාලය සත්කාරකත්වය දැරූ මෙම ආසියානු විකාශකයින්ගේ සංගමයේ සමුළුවේදී සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයකි.
එම සමුළුවේ ප්‍රධාන උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 01 වැනිදා පැවැත්වුණි. එය අමුතු තත්වයක් නොවේ. මේ ආකාරයේ කලාපීය හෝ ගෝලීය සමුළු පවත්වන අවස්ථාවල ඒ ඒ රටවල රාජ්‍ය නායකයන් සහභාගි වීම බොහෝ විට සිදුවේ.
එම උත්සව අවස්ථාවේ එම්ටීවී මාධ්‍ය ජාලය වෙනුවෙන් එහි සමූහ අධ්යක්ෂවරයකු වන ශෙවාන් ඩැනියෙල් කථා කරන අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, විදේශ කටයුතු ඇමති විජිත හේරත් ඇතුළු ආණ්ඩුවට ස්තූති කළද, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මගින් රජයෙන් මූල්‍ය අනුග්‍රහයක් ලැබුණ බවක් කීවේ හෝ ඒ සඳහා ස්තූති කළේ හෝ නැත. මෙම මූල්‍ය අනුග්‍රහකත්වය සම්බන්ධයෙන් ඊට පෙර එම්ටීවී මාධ්‍ය ජාලය හෝ ආණ්ඩුව නිවේදනය හෝ කළේ නැත.
ඒ සම්බන්ධයෙන් වන පූර්ව ප්‍රචාරණ ව්‍යාපෘතිය තුළද රජය හෝ රාජ්‍ය ආයතනයක් සමඟ ඇති සබඳතාවයක් හෝ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමක් පිළිබඳ මූල්‍ය අනුග්‍රහය දැක්වීමක් පිළිබඳ නිශ්චිත ලෙස සඳහන් කළේ නැත. ආණ්ඩුව ද ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කළේ නැත. කොතෙක්ද කිවහොත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ හෝ මෙම සමුළුව පිළිබඳ සඳහන් වන්නේ නැත.
ඒ සියල්ල හොර රහසේ සහ හදීසියේ සිදුවී ඇති බව කැබිනට් මණ්ඩල පත්‍රිකාවලින් හා කැබිනට් මණ්ඩල තීන්දුවෙන් හඳුනාගත හැකිය. ඒ ඊට අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ 2026.09.17 දින වීම නිසාය.
මෙවැනි කලාපීය හෝ ගෝලීය සමුළුවක් පැවැත්වීමේ සත්කාරකත්වය තීරණය වන්නේ අඩුම වසරක කාලයකට පෙර හෝ ඊටත් වඩා වසර කිහිපයකට පෙරය. ඒ ඊට අදාළ කටයුතු සඳහා යම් කාලයක් අවශ්‍ය වන නිසාය. ඒ අතරට මූල්‍යමය හා අනෙකුත් අනුග්රහකත්වයන් ලබා ගැනීම, වෙන්කිරීම් ආදිය ඇතුළත් වේ. එමෙන්ම සමුළුව පවත්වන රටෙන් විදේශ නියෝජිතයින්ට රට තුළට පැමිණීම සඳහා වීසා ලබා ගැනීමේ අනුමැතිය ලබාගත යුතු වීම ද නිල වශයෙන් සිදුකර ගත යුතු වීම නිසාය. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් හුවමාරු වී ඇති ලියවිලි අනුව එම්ටීවී මාධ්‍ය ජාලයට මෙම සත්කාරකත්වය ලැබී ඇත්තේ 2024 සමුළුවේදීය.
වීසා සම්බන්ධයෙන් රජය සමඟ සත්කාරකත්වය දැරූ එම්ටීවී මාධ්‍ය ජාලය යම් කාලයකට පෙර සිටම සාකච්ඡා කරමින් අනුමැතිය ලබා ගැනීම් සිදුකර තිබෙනවා විය හැකිය. එහෙත් මූල්‍ය අනුග්‍රහකත්වයක් සම්බන්ධයෙන් රජයේ ආයතනයක් සමඟ මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ අවසාන මොහොතේ බව පැහැදිලිය. මන්ද ජනාධිපතිවරයා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ඒ සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත්තේ 2026.09.28 දින වන නිසාය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ එම දිනයේදීය. මෙම සමුළුව ආරම්භ වූයේ ඔක්තෝබර් 30 වැනිදාය. කෙසේ වෙතත් මෙම අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් වී ඇතත්, ඒ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල තීරණයක් නම් මේ දක්වා නිකුත් වී නැත. මේ වූ කලී මීට පෙර රාජ්‍යය පාලනය කළ ආණ්ඩු විසින් සිදුකළ ආණ්ඩුවේ තීන්දු තීරණ ජනතාවට හැංඟීමේ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙනයෑමය. එය ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබාදුන් රාජ්‍ය පාලනයේ වෙනස නොවේ.
එමෙන්ම මෙහිදී ආණ්ඩුවට මතක් කළ යුතු කරුණක් ද තිබේ. ඒ කලාපීය හෝ ගෝලීය සංවිධානවල සාමාජිකත්වය දරන රටේ ජනමාධ්‍ය සංවිධාන මෙන්ම වෘත්තීය හා වෙනත් සංවිධානද තිබෙන බවය. එම සංවිධාන සිය ගෝලීය හෝ කලාපීය සංවිධානයේ සමුළු සත්කාරත්වය දරමින් නොපවත්වන්නේ මූල්‍යමය ශක්තිය නොමැති කම නිසාය. මේ ආකාරයට ආණ්ඩුව එම වියදම් දරනවා නම් අනෙකුත් සංවිධානද සිය කලාපීය හෝ ගෝලීය සමුළු ශ්‍රී ලංකාවේ පවත්වන්නට උනන්දු වනු ඇත.
ඒ නිසා ආණ්ඩුවෙන් ඇසිය යුතු ප්රශ්නය වන්නේ වෙනත් සංවිධානත් මේ ආකාරයට සමුළු පැවැත්වීම සඳහා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළහොත් ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙනවාද යන්නය.
සිය යෝජනාව සාධාරණීකරණය කරමින් විදේශ ඇමති විජිත හේරත් සිය කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරන්නේ, ‘මෙම සමුළුව මඟින් ගෝලීය මාධ්‍ය අනාවරණය සහ ගමනාන්ත ප්‍රවර්ධනය සඳහා වටිනා අවස්ථා නිර්මාණය කරනු ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ විවිධ සංචාරක ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතික උරුමයන්, ආගන්තුක සත්කාරය, MICE (සම්මන්ත්රණ, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන) පහසුකම් සහ නැඟී එන සංචාරක නිෂ්පාදන පුළුල් ජාත්‍යන්තර විකාශකයින් සහ මාධ්‍ය වෘත්තිකයන්ගේ සහභාගිත්වය මගින් අනාගත මාධ්‍ය හවුල්කාරිත්වයන්, ප්‍රවර්ධන අන්තර්ගතනයන් සහ ගමනාන්තය කේන්ද්‍ර කරගත් වැඩසටහන් සංවර්ධනය කිරීමට පහසුකම් සැලසිය හැකි අතර එමඟින් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය සහ දැනුවත්භාවය ඉහළ නැංවීමට දායක විය හැකිය. මෙම හවුල්කාරිත්වය හරහා උත්පාදනය වන ඇස්තමේන්තුගත සමස්ත ප්‍රවර්ධන සහ මාධ්‍ය වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 250ක් වන අතර එය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහා සුවිශේෂී ආයෝජන ප්‍රතිලාභයක් ලබාදෙනු ඇත.’ යනුවෙන්ය.
මෙම සමුළුව සඳහා රජය වියදම් කර ඇති මුදලෙන් ඇමති විජිත හේරත් සඳහන් කළ ආකාරයට රටට ඒ ආකාරයේ ප්‍රතිලාභයක් අත්වේ යැයි මේ රටේ දැනුම් තේරුම් ඇති මහජනතාව විශ්වාස කරනවාද? එසේ නැත්නම් ආණ්ඩුව වෙනුවෙන් රජයේ මාධ්‍ය ආයතනවලටත් වඩා හොඳින් මාධ්‍ය මෙහෙවරේ යෙදීම වෙනුවෙන් එම්ටීවී මාධ්‍ය ජාලයට පෞද්ගලිකව සැලකීමක් ලෙස මෙය දකිනවාද?
(මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් හා කළමනාකාර අධ්යක්ෂ සංජය නිරෝෂණ දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට ගත් උත්සාහයන් සාර්ථක වූයේ නැත.)


