මහින්ද – ශිරන්තිගේ සෞඛ්‍ය තත්ත්වය සලකා ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂට ඇප!

ක්‍රිෂ් සමාගමේ ඉඩම් ගනුදෙනුවකට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප කොන්දේසි පනවමින් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළා.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියම වූ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මීට අමතරව නඩුවේ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයකින් අයුතු බලපෑම් එල්ල නොකළ යුතු බවටද අධිකරණය නියෝග කළා.

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දීය ක්‍රිෂ් සමාගම වෙත පැවරීමේ කටයුතු පහසු කරදීම වෙනුවෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෘද සැත්කමකට මුහුණදීමට නියමිත බරපතළ රෝගී තත්ත්වයක පසුවන බවයි.

එමෙන්ම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන බැවින් පවුලේ වැඩිමහල් පුත්‍රයා වශයෙන් දෙමාපියන්ගේ සුවදුක් බලාගැනීමේ අවශ්‍යතාව සලකා බලා විශේෂ අවස්ථානුගත කරුණක් යටතේ ඔහුට ඇප නියම කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් අල්ලස් කොමිසම නියෝජනය කළ නීතිඥවරුන් එම ඉල්ලීමට සිය විරෝධය පළ කර තිබුණා.

දෙමාපියන් බලාකියා ගැනීමට වෙනත් පාර්ශ්වයන් සිටින බැවින් එය ඇප ලබාදීමට තරම් විශේෂ කරුණක් නොවන බවත් එල්ල වී ඇති චෝදනාවල පවතින බරපතළ ස්වභාවය සහ නඩුවේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව මෙහිදී ප්‍රමුඛව සැලකිය යුතු බවත් කොමිසම පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විත්තිය ඉදිරිපත් කළ කරුණු විශේෂ අවස්ථානුගත කරුණු ලෙස පිළිගනිමින් අද දින මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.

කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීමේදී රග්බි තරගාවලියක් ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ‘හෙලෝ කෝප්’ සමාගම හරහා රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම මගින් මීට පෙර චෝදනා ගොනු කර තිබුණා.

මෙම ගනුදෙනුවට අදාළව මීට පෙරද නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබූ අතර අදාළ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී නඩු පවරා තිබුණා.

මෙම සිදුවීමට අදාළ මූල්‍ය ගනුදෙනු සහ සිරිලිය සවිය ඇතුළු ගිණුම් පිළිබඳව මීට පෙර අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Author

Leave a Reply

Related Posts