පීඩී සිරිසේන ක්‍රීඩාංගනය මාලිමා පාලනයේ, ප්‍රදේශවාසීන්ට තහනම්

ඔක්තෝබර් 31 වැනිදා පැවති ජාතික ජන බලවේගයේ වෘත්තිකයන්ගේ සංවිධානවල නියෝජිතයින්ගේ සමුළුව පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවෙන් වෙන්කරගත් කොළඹ මාලිගාවත්තේ පීඩී සිරිසේන ක්‍රීඩාංගනය මේ දක්වා එම ප්‍රදේශයේ පිරිස්වලට ක්‍රීඩා කිරීම සඳහා විවෘත කර නැත.

එම සමුළුව පැවැත්වීමට දින කිහිපයකට පෙර සිටම අවට පිරිස්වලට එම ක්‍රීඩාංගනය තහනම්ව තිබී ඇති අතර ඒ එම සමුළුවට අවශ්‍ය කුටි ඉදිකිරීමේ කටයුතු සඳහාය. ඔක්තෝබර් 31 දින පැවති සමුළුවෙන් පසු මෙතෙක් එම කුටි ගලවා ඉවත්කර නැති අතර ක්‍රීඩා කටයුතු සඳහා අවට පිරිස්වලට ක්‍රීඩාංගනය විවෘත කර නැත.

මේ සඳහා හේතුවී ඇත්තේ නොවැම්බර් 07 පැවැත්වීමට නියමිත ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති නියෝජිත සමුළුව ද එම ක්‍රීඩාංගනයේ පැවැත්වීම බව කියවෙන අතර ඒ අනුව පීඩී සිරිසේන ක්‍රීඩාංගනය දින 10කට අධික කාලයක් එහි ක්‍රීඩා කටයුතු කරන හා ශාරීරික ව්‍යායාම්වල යෙදෙන අවට පිරිස්වලට තහනම් කලාපයක් බවට පත්වී ඇත.

මේ සම්බන්ධයෙන් අද (නොවැම්බර් 04) පාර්ලිමේන්තුවේදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මතුකළ අතර එහිදී ඔහු පැවසුවේ මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගනය ප්‍රමුඛපෙළ පාපන්දු ක්‍රීඩා සමාජයක් පුහුණුවීම් සිදුකරන එකක් බවත්, ඊට අමතරව අවට පිරිස් ක්‍රීඩා හා ශාරීරික ව්‍යායාම් සිදුකරන එකක් බවත් හා දින ගණනාවක් තිස්සේ එය භාවිතා කරන පිරිස්වලට එහි ඇතුළු වීමට ඉඩ ලබාදී නැති බවයි.

මේ සම්බන්ධයෙන් WhatNews කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාස්වාදය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සප්තා ලැනරෝල්ගෙන් විමසීමේදී ඇය පැවසුවේ එම ක්‍රීඩාංගනය වසා නැති බවයි. එහිදී තවමත් එහි කුටි නොගලවා ඇති බව හා ප්‍රදේශවාසීන්ට ඇතුල්වීමට ඉඩ ලබානොදෙන බව පැවසූ විට පැවසුවේ රැස්වීමක සිටින බැවින් දහවල් 12 ට පමණ යළි අමතන ලෙසයි. ඒ අනුව දහවල් 12ට හා ඉන්පසු ඇමතුම් ලබාගත්තද ඇය දුරකතන ඇමතුමට සම්බන්ධ වූයේ නැත.

Author

Leave a Reply

Related Posts