ටිරාන් අලස් හිමිකාරීත්වය දරන “මව්බිම” සහ “සිලෝන් ටුඩේ” පුවත්පත්වල මාධ්‍ය සේවකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් ඊයේ (3) කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේ පිහිටි අදාළ පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදී.
“මව්බිම” සහ “සිලෝන් ටුඩේ” පුවත්පත්වල සේවය කළ සේවකයන්ට වැටුප් නිසි පරිදි නොගෙවීම, වැටුප් ප්‍රමාද වීම, සේවක අර්ථසාධක අරමුදල් (ETF) සහ භාරකාර අරමුදල් (EPF) රඳවාගැනීම, සුබසාධක අරමුදලේ වංචා මෙන්ම පාලනාධිකාරියේ අනෙකුත් කම්කරු විරෝධී පිළිවෙත් සම්බන්ධයෙන් පසු ගිය කාල සීමාව තුළ දැඩි ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. මීට අමතරව, කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මේ වන විටත් කම්කරු කොමසාරිස්වරයා වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර, එම මාධ්‍ය සංවිධානවල නියෝජිතයෝ ද මෙම විරෝධතාවට එක්ව අදහස් දැක්වූහ.
මෙම විරෝධතාව අතරතුර අදහස් දැක්වූ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, මාධ්‍යවේදී එම්.එෆ්.එම්. ෆසීර් මෙසේ පැවසීය.
“මෙතන ඉන්න මගේ සහෝදර මාධ්‍යවේදීන් එක්ක මම මෙතෙන්ට ආවේ අපේ ප්‍රශ්න ගැන කතා කරන්න. මෙතන මම දේශපාලනයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක දේශපාලනයක් හැට ඇවිල්ලා තියෙනවා කියන එක අපි දන්නවා. මේ ප්රශ්නය දැන් මාස කීපයක් තිස්සේ අපි හැමදාම මගේ සහෝදර මාධ්‍යවේදීන් වෙනුවෙන් කතා කළා. පරක්කු වෙලා මාස ගානක් පරක්කු වෙලා යම් යම් අයට ගෙවලා තිබුණත්, ETF, EPF ගෙවීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා.”
ඔහු වැඩිදුරටත් කියා සිටියේ බලය පාවිච්චි කරමින් අසරණ මාධ්‍යවේදීන්ගේ මෙම ගැටලු යටපත් කිරීමට උත්සාහ කරන අවස්ථාවක, එම බලය අයථා ලෙස භාවිත කිරීම සහ දූෂණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි. ඒ සඳහා විශේෂ පැමිණිල්ලක් අවශ්‍ය නොවන බවත්, මෙය විවෘත පැමිණිල්ලක් ලෙස සලකා බලය භාවිත කරමින් මෙම ධනය උපයාගත් ආකාරය පිළිබඳව සොයා බැලිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
ජනාධිපතිතුමා සහ විෂයභාර ඇමතිවරයාට අපි කියනවා, මේක ආරම්භයක් පමණයි. මෙතෙන්ට අපි ඇවිල්ලා සංකේතාත්මකව මේ කරන විරෝධතාව ආරම්භයක් පමණයි. ඔයගොල්ලෝ මැදිහත් වෙන්නේ නැත්තම්, මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න බයයි නම්, ටිරාන් අලස්ට අත තියන්න බයයි නම්, මේ අහිංසක ජනතාවට පඩි ගෙවන්න කියලා ටිරාන් අලස්ට කියන්න බයයි නම්, ඒක විසඳ ගන්න ක්‍රමයත් අපි දන්නවා. අපි මාධ්‍යවේදීන් හැටියට මීළඟ සැරේ එන්නේ මේ පිරිස විතරක් නෙමෙයි, ලංකාවේ ඉන්න මේ මාධ්‍යවේදීන් සියලු දෙනාම එකතු කරගෙන මීළඟ සටනට අපි සූදානම් කියන එක ජනාධිපතිතුමාටත්, විෂයභාර ඇමතිතුමාටත් අපි මතක් කරන්නම්. වහාම මැදිහත් වෙන්න. නැත්නම් බලාගමු.”
