වාහනයක් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු මූලාශ්‍ර පිළිබඳව කරුණු තහවුරු කිරීමට නොහැකි වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (03) නියෝග කළා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය දීර්ඝ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකාරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවයි.
එමෙන්ම ඇයගේ මාසික වැටුප රුපියල් 140,000ක් පමණ වන අතර ඇය පරිහරණය කළ මෝටර් රථයේ මාසික කල්බදු වාරිකය රුපියල් 132,000ක් බවද විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබෙනවා.
මෙම මුදල් ගනුදෙනු සහ වාහනය මිලදී ගැනීම සඳහා මුදල් සපයාගත් ආකාරය පිළිබඳව මතු වී ඇති සැකසහිත තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව අධිකරණයේදී කරුණු ඉදිරිපත් වී තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් සිව්දෙනා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
එමෙන්ම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සහ වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
සැකකාරිය වෙනුවෙන් නීතිඥ සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නානායක්කාර, උදිෂා වීරරත්න සහ දිනේෂ් ගමගේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත පරිහරණය කළ Honda Vezel වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මතු වූ සැකසහිත මුදල් ගනුදෙනු හේතුවෙන් මෙම විමර්ශනය ආරම්භ වී තිබුණා.
ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 16 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අදාළ මෝටර් රථය සිය භාරයට ගනු ලැබුවා.
විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මාතර සමුපකාර සමිතියේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවට සම්බන්ධ පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
එමෙන්ම රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් ඇති බව සඳහන් වන මෙම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් සපයාගත් ආකාරය පිළිබඳවද විමර්ශන සිදුකර තිබුණා.
මෙම විමර්ශනයේදී ඇයට අමතරව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සතුව තිබූ මෝටර් රථ සහ ලොරි රථ ඇතුළු වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබූණා.
මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සම්බන්ධයෙන් අනාවරණය වූ බව කියන දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනය මෙම විමර්ශනයේ පසුබිම වී තිබුණා.
එම ආයතනවල හිටපු සභාපති චමින්ද ගුණසේකර මහතාට එරෙහිව රුපියල් කෝටි 500කට අධික මුදලක් සම්බන්ධ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති අතර ඔහු 2026 අප්‍රේල් 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම විමර්ශනවලට අදාළව මුදල් යොදා මිලදී ගත් බව කියන වාහන සහ දේපළ හඳුනාගෙන ඒවා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කරමින් සිටියා.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව තවදුරටත් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය ලබන සිකුරාදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
