(අකිලා නදීෂානි බණ්ඩාර)
මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 23 වන දා කැඳවන ලෙසත් එදිනට නඩුවේ විභාගයට දින නියම කරන බවත් කොළඹ මහාධිකරණය නියම කරයි.
මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම් කර තිබෙන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පැමිණිල්ල විසින් විත්තියට ලබා දීමට ඇති සියලු ලේඛන ලබා දී ඇති බවද එදිනට සලකා බලන බවත් ඉන්අනතුරුව නඩු විභාගයට දින නියම කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
පලමු විත්තිකාරිය ඉංගිසි ජාතික කාන්තාවක් බැවින් අධිචෝදනා පත්‍රයේ පිටපතක් ඉංග්‍රීසි බසින් ලබා දුන් අතර ඇයගෙ වීසා කාලය අවසන් බැවින් එය සකස් කර ගැනීම සඳහා අධිකරන භාරයේ ඇති ඇයගේ ගමන් බලපත්‍රය ලබා දෙන ලෙසද මහාධිකරණ රෙජිස්ටර්වරයාට නියෝගයක් නිකුත් කරනු ලැබීය.
පලමු විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි සහ දෙවන විත්තිකරු දුමින්ද දිසානායක වෙනුවෙන් ජනාධිපති වෙනුවෙන් සම්පත් මෙන්ඩිස් මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ සමදරි පියසේන මහත්මිය පෙනී සිටියාය.
2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ.
