ගෝඨාභය ගැන තීන්දුව නොවැම්බර් 25

ගෝඨාභය රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරු යාමට, ඔහුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය නොවැම්බර් 25 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (නොවැම්බර් 04) නියෝග කර ඇත.

අද දිනයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටපු නීතිඥ රුවන්ත කුරේ විසින් ගෝඨාභය රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ මෝෂන් පත්‍රය සලකා බැලීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝගය ලබා දී තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති අතර අද අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ ගතවීම පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක විය හැකි බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වන බවයි.

එසේම අද දිනයේ නඩුව කැඳවන ලද වෙලාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගත වීමට අවසර ලබා දීමේදී ඔහුව නැවත අධිකරණයට කැඳවා ගැනීමට හැකියාවක් තිබෙන පරිදි කොන්දේසි පනවා ඒකට අදාළව කටයුතු කරන්නේ නම් විරෝධතාවයක් පළ නොකරන බවයි.

එසේ වුවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සැකකරුවකු ලෙස නම්කර නැති බැවින් ඇප මත හෝ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගත වීමට අවසර ලබා දීමට තමන් විරෝධය පළ කරන බවයි. ඔහු සම්බන්ධයෙන් විමර්ශන මේ අවස්ථාවේදී සිදුවෙමින් පවතින බවත්, ඔහුව නැවත අධිකරණයට ගෙන්වා ගැනීමට අපොහොසත් වුවහොත් රටේ කැළඹීමක් ඇති විය හැකි බවට කරුණු දක්වමින් ඔවුන් විරෝධතාවය පල කර තිබේ.

ඉන්පසු නීතිඥ රුවන්ත කුරේ අධිකරණ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරමින් තමන්ගේ සේවාදායකයාට ප්‍රතිකාර කළ ශිවදාසන් නම් වෛද්‍යවරයා නොවැම්බර් 28 වෙනිදා සිට දෙසැම්බර් 8 දක්වා කාලය තුළ පමණක් සිංගප්පූරුවේ රැඳී සිටින බවත්, ඒ කාලය තුළ ඔහුගේ ප්‍රතිකාර ලබා ගත යුතු බවත් සඳහන් කර තිබේ. ඊට අමතරව ඩර්ඩන්ස් රෝහලේ ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් රුවන්ත කුරේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ සිංගප්පූරුවට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නැවත ලංකාවට පැමිණීමෙන් පැමිණීමෙන් පසු එම විදෙස් ගමන් තහනම දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවයක් නොමැති බවයි.

ඉන් අනතුරුව කරුණු සලකා බලන ලද මහේස්ත්‍රාත්වරයා මේ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 25 වැනිදා ලබා දෙන බවට නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts