සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පත සකස් කිරීමේදී කිසියම් පාර්ශ්වයක් විසින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොමඟ යවා ඇති බවක් පෙනී යන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු සම්පත් අභයකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගෙන ඇත.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ මෙම පනත් කෙටුම්පතේ පූර්විකාව තුළ සඳහන් කර ඇති ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීම සඳහා පනත ගෙන එන බව සඳහන් වුවද එම කාර්යය පනත් කෙටුම්පත මඟින් නිසි පරිදි සිදු නොවන බවයි.
අදාළ ජාත්‍යන්තර සම්මුතියේ අන්තර්ගත නොවන කරුණු රැසක් පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, එම සම්මුතියේ නිශ්චිත විධිවිධාන ඉක්මවා යමින් ඇතැම් කරුණුවලදී ඊට පටහැනි ආකාරයෙන් පනත සකස් කර ඇති බවත් ඔහු තර්ක කර ඇත.
මෙම පනත් කෙටුම්පත යටතේ වැරදි වර්ග තුනක් හඳුන්වා දී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම වර්ගීකරණය ජාත්‍යන්තර සම්මුතියේ ක්‍රමවේදයට අනුකූල නොවන බවද සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම පනත් කෙටුම්පතේ උපලේඛනයට බුද්ධිමය දේපළ පනතද ඇතුළත් කර තිබීම හේතුවෙන් ප්‍රකාශන හිමිකම් සහ වෙළෙඳ නාම උල්ලංඝනය කිරීම් පවා මෙම පනත යටතේ බරපතළ වැරදි බවට පත්විය හැකි බව ඔහු පෙන්වා දී ඇත.
එමෙන්ම සොරකම් කිරීම සහ අල්ලස් ලබාගැනීම වැනි වැරදිද මෙම පනත යටතේ බරපතළ අපරාධ ලෙස වර්ගීකරණය කිරීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කර තිබේ.
මෙවැනි වැරදි සම්බන්ධයෙන් ඕනෑම පොලිස් නිලධාරියෙකුට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය හිමිවන බවත්, ඉන් අනතුරුව පොලිසියේ ඉහළ නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රැඳවුම් නියෝග ලබාගැනීමේ හැකියාව පවතින බවත් ඔහු අධිකරණයට පෙන්වා දී ඇත.
එසේ රැඳවුම් නියෝග ලබා නොගෙන සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක මහේස්ත්රාත්වරයාට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවක ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බවටත් ඔහු කරුණු දක්වා තිබේ.
මෙම විධිවිධාන හරහා අධිකරණයේ බලතල දැඩි ලෙස සීමා වන බව හා පුද්ගල නිදහසටද බරපතළ බලපෑමක් එල්ල වන බව ජනාධිපති නීතිඥවරයාගේ තර්කය වී ඇත.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අදාළ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල නොවන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බවත් රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
