කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි බාල බෙහෙත් නඩු විභාගයේ සාක්ෂි විමසීම් අවසන්

අකිලා නදීෂානි බණ්ඩාර

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සම්බන්ධ යෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය අද (04) ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසන් කරයි.

නඩුවේ විත්ති වාචික වීමසිමද ඊයේ (03) අවසන් කළේය.

නඩුවේ විත්තිවාචකය කැඳවීම 29 වැනිදා ආරම්භ කළ අතර අධිකරණය මඟ හැර සිටින 09 වන විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සියලුම දෙනා විත්තිකුඩුවේ සිට සිය විත්තිවාචික ඉදිරිපත් කළේය.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර , සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (අධිකරණය මගහැර විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත .

2023 ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලි වලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහේශාත් අධිකරණය හමුවේ නඩු පැවරීය.

එලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වන දින විමර්ශනයන් වල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඒ අනුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කලේය. ඉන් අනතුරුව අද දක්වා නඩුව දිනපතා විභාග කෙරුණි.

ප්‍රශ්න­ගත හදිසි ඖෂධ ප්‍රසම්පා­දන ක්‍රියා­ව­ලිය සඳහා වන කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කළේ තමන් නොව, එව­කට මුදල් අමා­ත්‍ය­ව­රයා හා අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ රනිල් වික්‍ර­ම­සිංහ මහතා බව බාල බෙහෙත් නඩුවේ 8 වැනි විත්ති­කරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා විත්ති­ කූ­ඩුවේ සිට දීර්ඝ ප්‍රකා­ශ­යක් කර­මින් කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ පෙරේදා (02) වැනිදා සාක්ෂි දෙමින් සඳ­හන් කළේය.

2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පා­දන ක්‍රියා­ව­ලිය තව­දු­ර­ටත් දීර්ඝ කිරී­මට තමන් අමාත්‍ය මණ්ඩල සන්දේ­ශ­යක් ඉදි­රි­පත් කළද ඊට අනු­මැ­තිය හිමි නොවූ බවද ඔහු පැව­සීය. ඒ වෙනු­වට එව­කට මුදල් අමා­ත්‍ය­ව­රයා වූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­ව­කට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බවද ප්‍රකාශ කළේය. එම තීර­ණයේ සාමූ­හික වග­කී­මට තමන් බැඳී සිටින නමුත්, ප්‍රශ්න­ගත කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කිරීම සම්බ­න්ධ­යෙන් නඩු­වේදී විශාල වශ­යෙන් සාකච්ඡා වුවද එයට තමන්ගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බවත්, එම පත්‍රි­කාව ඉදි­රි­පත් කළේ හිටපු අග්‍රා­මා­ත්‍ය­ව­රයා බවත් ඔහු කියා සිටි­යේය. ප්‍රියන්ත ලිය­නගේ (සභා­පති), විරාජ් මාලක වීර­සූ­රිය සහ පී.එම්. බණ්ඩාර යන මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා මෙම සාක්ෂිය ලබා­දු­න්නේය.

ඔහුගේ දීර්ඝ ප්‍රකා­ශය තුළ ආන්දෝ­ල­නා­ත්මක කරුණු රැසක් අන්ත­ර්ගත විය. වසර 20කට ආසන්න සිය පාර්ලි­මේන්තු දිවිය තුළ අමා­ත්‍යාංශ 9ක අමා­ත්‍ය­ව­ර­යකු ලෙස කට­යුතු කළ බවත්, 2021 වස­රේදී ප්‍රථම වරට සෞඛ්‍ය අමාත්‍ය ධුර­යට පත්වූ බවත් ඔහු පැව­සීය.

ඒ වන විට තමන් යුද්ධය අව­සන් කිරීමේ කට­යු­ත්තට තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු­කර තිබූ බවද හැඟී­ම්බ­රව කියා සිටි­යේය.

තමන් දේශ­පා­ල­න­යට පැමි­ණි­යේද, ජන­මාධ්‍ය අමාත්‍ය ධුර­යට පත්වූ­යේද, අන­තු­රුව සෞඛ්‍ය අමාත්‍ය ධුර­යට පත්වූ­යේද අහඹු ආකා­ර­යෙන් බව හිටපු අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේය.

කොවිඩ්-19 වසං­ග­තය පැවැති වට­පි­ටාව තුළ සහ 2022 වසරේ රටේ ඇතිවූ දැඩි ආර්ථික හා දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බු­ද­ය­කට පත්ව තිබූ බව ඔහු පැව­සීය. එවැනි තත්ත්ව­යක් තුළ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පාන්දර 6.00ට පමණ දුර­කතන ඇම­තු­මක් දී සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර­ගන්නා ලෙස ආරා­ධනා කළ බව කියා සිටි­යේය. එම ආරා­ධ­නාව ලැබෙන අව­ස්ථාව වන විට රටේ විදේශ විනි­මය සංචිත ඩොලර් මිලි­යන 35 දක්වා පහත බැස තිබූ අතර, මුහුදේ තිබූ ඉන්ධන නැව් සඳහා ගෙවී­මට පවා ඩොලර් නොමැ­තිව මුළු රටම අක­ර්ම­ණ්‍යව තිබූ බව පැව­සීය.

තමන් ඒ අව­ස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර­ගෙන අවශ්‍ය පිය­වර කඩි­න­මින් නොගත්තේ නම් ඉන්ධන පෝලිම් වෙනු­වට වෙනත් ආකා­රයේ පෝලිම් ඇතිවී රටේ ජන­තා­වට ඛේද­ජ­නක ඉර­ණ­ම­කට මුහුණ දීමට සිදු­වන බව කියා සිටි­යේය.

2022 අප්‍රේල් මාස­යේදී සමස්ත කැබි­නට් මණ්ඩ­ල­යම ඉල්ලා අස්වූ බවත්, ඉන්පසු 2022 මැයි 20 වැනිදා සිට ඔක්තෝ­බර් 23 වැනිදා දක්වා නැව­තත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කට­යුතු කළ බවත් හෙතෙම සඳ­හන් කළේය.

එම වට­පි­ටාව තුළ රටේ විදේශ විනි­මය සංචිත ඩොලර් මිලි­යන 35ක් දක්වා පහත බැස තිබූ අතර, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඩොලර් මිලි­යන 200ක ප්‍රති­පා­දන භාවිත කර­මින් සෞඛ්‍ය පද්ධ­තිය කඩා වැටීම වැළැ­ක්වීම එකම අර­මුණ වූ බව හෙතෙම පැහැ­දිලි කළේය.

රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාව මඟින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය භාවිත කිරීමේ දුර්ව­ල­තා­වක් පව­තින බව භාණ්ඩා­ගා­රය දැනුම් දීමෙන් පසු, මුදල් අමා­ත්‍යාං­ශයේ උප­දෙස් පරිදි 2022 සැප්තැ­ම්බර් 26 වැනිදා අර­මු­දල් ප්‍රති­පා­දන වෙනස් කිරීමේ කැබි­නට් සන්දේ­ශය තමන් ඉදි­රි­පත් කළ බව හෙතෙම කියා සිටි­යේය. තමන් එවැනි කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කළේ එම විදේශ විනි­මය පෞද්ග­ලික අංශ­යට පැව­රී­මට මුදල් අමා­ත්‍යාං­ශයේ සූදා­න­මක් තිබූ නිසා බවද ඔහු තව­දු­ර­ටත් කියා සිටි­යේය.

කැබි­නට් තීරණ ක්‍රියා­ත්මක කිරීමේ වග­කීම අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ඇතුළු නිල­ධා­රීන්ට හිමි­වන බවත්, ප්‍රස­ම්පා­දන කට­යු­තු­ව­ලට තමන් කිසි­සේත් සම්බන්ධ නොවූ බවත් හෙතෙම අව­ධා­ර­ණය කළේය.

ඖෂධ තොග තත්ත්වය පිළි­බ­ඳව වෛද්‍ය සැප­යුම් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේ­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීන් ලබා­දුන් වාර්තා මත තමන් තීරණ ගත් බවත්, එම තාක්ෂ­ණික තොර­තු­රු­වල නිර­ව­ද්‍ය­තාව පරීක්ෂා කිරීමේ හැකි­යා­වක් අමා­ත්‍ය­ව­ර­යාට නොමැති බවත් පැව­සීය.

ව්‍යාජ ලේඛන සකස් කර අදාළ ඖෂධ ගෙන්වා ඇති බව දැන­ගත් වහාම සෞඛ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු ලෙස ශ්‍රී ලංකා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කළේ තමන් බව කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

තමන් කළ පැමි­ණි­ල්ලක් ඔස්සේ සිදු­කළ විම­ර්ශ­න­යක් හේතු­වෙන් මාස 9කට ආසන්න කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිටී­මට සිදුවූ බවත්, එවැනි තත්ත්ව­යක් තුළ අනා­ග­ත­යේදී කිසිදු අමා­ත්‍ය­ව­ර­යකු සිය අමා­ත්‍යාං­ශ­වල දූෂණ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි නොක­රනු ඇතැයි කියා සිටි­යේය. 2023 දෙසැ­ම්බර් 26 සහ 2024 පෙබ­ර­වාරි 02 යන දින­වල පැය 12ක් පුරා සීඅ­යි­ඩී­යට ප්‍රකාශ ලබා­දෙ­මින් විම­ර්ශ­න­ව­ලට පූර්ණ සහාය ලබා­දුන් බවද හෙතෙම පැව­සීය.

චෝදනා එල්ල වන රැස්වීම් පැවැති දින­වල තමන් අමා­ත්‍යාං­ශයේ නොසිටි බව පෙන්වා දුන් හිටපු අමා­ත්‍ය­ව­රයා, 2022 සැප්තැ­ම්බර් 02 වැනිදා සිට 07 වැනිදා දක්වා භූතා­නයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සමු­ළු­වට සහ­භාගි වූ බවත්, ඒ බව ගුවන් ගමන් බල­ප­ත්‍රයේ මුද්‍රා මඟින් තහ­වුරු කළ හැකි බවත් කියා සිටි­යේය. එවැනි තත්ත්ව­යක් තුළ තමන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති රැස්වී­ම­කදී අදාළ තීර­ණය ගත් බව වාර්තා­වල සඳ­හන් වීම ගැන ඔහු විම­තිය පළ කළේය. 2022 ඔක්තෝ­බර් 10 වැනිදා සීතා­වක ප්‍රදේ­ශයේ පැවැති උත්ස­ව­ය­කට ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සහ­භාගි වූ නිසා එම රැස්වීම් තමන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් නොපැ­වැ­ත්වුණු බවද ඔහු පැහැ­දිලි කළේය. ඒ නිසා මෙම සිද්ධි­යට තමන් කිසි­සේත් සම්බන්ධ නොමැති බව චුදිත හිටපු අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේය.

(9 වැනි විත්ති­කරු වන වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය අධි­ක­ර­ණය මඟ­හ­රි­මින් සිටින බැවින් ඔහු නොමැ­තිව නඩුව විභාග වේ.)

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මහ­ත්මිය නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පැමි­ණිල්ල මෙහෙ­ය­වයි.

Author

Leave a Reply

Related Posts