තෙල් මිල- ජීවන වියදම මැද- ට්‍රම්ප්ට ජනමත විචාරණයක් වූ මැතිවරණයක්!

ට්‍රම්ප්ගේ දෙවැනි ජනාධිපති ධුර කාලයේ පළමු මැදිකාලීන මැතිවරණය අද පැවැත්වෙයි. ඉරානයට එරෙහි යුද්ධය, ඉහළ ගිය ජීවන වියදම, සංක්‍රමණිකයන්ට එරෙහි මර්දනය, ඊශ්‍රායලයට ලබාදෙන සහයෝගය සහ ප්‍රකෝටිපතියන්ගේ දේශපාලන බලය මෙවර මැතිවරණයේ ප්‍රධාන ප්‍රශ්න බවට පත්ව තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ජනාධිපති ධුර කාලය පිළිබඳ ඇමෙරිකානු ජනතාවගේ පළමු ප්‍රධාන දේශපාලන තීන්දුව ලබාදෙන මැදිකාලීන මැතිවරණය නොවැම්බර් 3 වැනි අඟහරුවාදා පැවැත්වෙයි.

මෙම මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවේ. එහෙත් ඔහුගේ පාලනය මෙම මැතිවරණයේ ප්‍රධානතම තේමාව බවට පත්ව ඇත. මෙම මැතිවරණය නිල නොවන වශයෙන් ට්‍රම්ප්ගේ පාලනය ගැන ජනමත විචාරණයක් ලෙස සලකයි.

ඒ බව ට්‍රම්ප්ම පිළිගෙන තිබේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය ලබාදීම සඳහා රට පුරා රැලි පවත්වමින් ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ නම ඡන්ද පත්‍රිකාවේ ඇති බව සිතා රිපබ්ලිකන් අපේක්ෂකයන්ට ඡන්දය ලබාදෙන ලෙසය.

එහෙත් ට්‍රම්ප්ගේ එම ඉල්ලීම ඔහු බලාපොරොත්තු වන ප්‍රතිඵලයම ලබාදෙනු ඇතිද යන්න සැක සහිතය. මන්ද, 2024 ජනාධිපතිවරණයේදී ජීවන වියදම පහත හෙළීමටත් ඇමෙරිකානු ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් කිරීමටත් පොරොන්දු වූ ට්‍රම්ප්, අද වන විට ඉහළ යන ඉන්ධන මිල, ජීවන වියදම සහ විදේශ යුද්ධයක් සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව සිටින බැවිනි.

මත විමසුම් කිහිපයකට අනුව ට්‍රම්ප්ගේ පාලනය අනුමත කරන ප්‍රතිශතය සියයට 33ත් 37ත් අතර පහළ මට්ටමකට වැටී තිබේ.

මේ තත්ත්වය හමුවේ රිපබ්ලිකන් පක්ෂයට ඇමෙරිකානු කොංග්‍රසයේ සභා දෙකෙන් එකක හෝ දෙකේම බලය අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

මොකක්ද මේ මැදිකාලීන මැතිවරණය?

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වසර හතරක ධුර කාලයක් සඳහා තෝරා පත් කරගනු ලබයි. එම ධුර කාලයෙන් වසර දෙකක් ගත වූ පසු පැවැත්වෙන මැතිවරණය මැදිකාලීන මැතිවරණය ලෙස හැඳින්වේ.

ඇමෙරිකානු ව්‍යවස්ථාදායකය වන කොංග්‍රසය සභා දෙකකින් සමන්විතය. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාවයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද බලය හිමි ආසන 435ක් තිබේ. එහි සියලුම මන්ත්‍රීවරුන් වසර දෙකකට වරක් නැවත තෝරා පත් කරගත යුතුය. ඒ අනුව මෙවර මැතිවරණයේදී ආසන 435ටම ඡන්ද විමසීම් පැවැත්වේ.

සෙනෙට් සභාවේ ආසන සංඛ්‍යාව 100කි. ප්‍රාන්ත 50 වෙනුවෙන් ප්‍රාන්තයකින් දෙදෙනා බැගින් සෙනෙට් සභිකයන් තෝරා පත් කරගන්නා අතර ඔවුන්ගේ ධුර කාලය වසර හයකි.

සෑම වසර දෙකකට වරක්ම එහි ආසනවලින් තුනෙන් එකක් පමණ ඡන්දයට ඉදිරිපත් වේ. මෙවර සාමාන්‍ය මැතිවරණ යටතේ ආසන 33ක් සහ විශේෂ මැතිවරණ යටතේ තවත් ආසන දෙකක් ඇතුළුව ආසන 35ක් සඳහා ඡන්ද විමසීම් පැවැත්වේ.

මෙම මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාර ධුර ඇතුළු තවත් ප්‍රාන්ත හා ප්‍රාදේශීය තනතුරු රැසකටද නියෝජිතයන් තෝරා පත් කරගනු ලබයි.

දැනට කොංග්‍රසයේ සභා දෙකෙහිම බලය පවතින්නේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටය. එම නිසා ඔහුගේ බොහෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාදායක සහයෝගය ලබාගැනීම පහසු වී තිබුණි.

එහෙත් ඩිමොක්‍රටික් පක්ෂය සභා දෙකෙන් එකක හෝ බහුතරය ලබාගතහොත් මෙම තත්ත්වය වෙනස් වනු ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය දිනුවොත් ට්‍රම්ප්ගේ බලය අඩු වෙනවාද?

දැනට සෙනෙට් සභාවේ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 53 දෙනෙකු සිටින අතර ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 45 දෙනෙකු සහ ඔවුන් සමඟ කටයුතු කරන ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටිති.

සෙනෙට් සභාවේ පැහැදිලි බහුතරයක් ලබාගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට ශුද්ධ වශයෙන් තවත් ආසන හතරක් දිනාගත යුතුය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් බහුතරය සාපේක්ෂව ඉතා සුළු පරතරයකින් පවතින බැවින් එහි බලය වෙනස් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයට වඩා හොඳ අවස්ථාවක් පවතින බව මැතිවරණ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ සාමාන්‍ය රටාව වන්නේ ජනාධිපතිවරයාගේ පක්ෂයට මැදිකාලීන මැතිවරණවලදී ආසන අහිමි වීමයි. ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳ ජනතා අතෘප්තිය ප්‍රකාශ කිරීමට මෙම මැතිවරණය අවස්ථාවක් සලසයි.

2018 වසරේ ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලයේ පැවති මැදිකාලීන මැතිවරණයෙන්ද ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබාගත්තේය.

මෙවරත් ඒ හා සමාන ප්‍රතිඵලයක් ලැබුණහොත් ට්‍රම්ප්ගේ නව නීති සම්මත කිරීමේ හැකියාව සීමා විය හැකිය.

විශේෂයෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවුවහොත් ට්‍රම්ප් පාලනයේ රාජ්‍ය වියදම්, ව්‍යාපාරික ගනුදෙනු සහ පරිපාලන තීරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු හරහා පරීක්ෂණ ආරම්භ කළ හැකිය.

සෙනෙට් සභාවේ බලයද ඔවුන්ට හිමිවුවහොත් ජනාධිපතිවරයාගේ විනිසුරු සහ ඉහළ නිලධාරී පත්වීම් සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීමේ බලයද ඔවුන් අතට පත්වේ.

එහෙත් ඩිමොක්‍රටික් පක්ෂයට කොංග්‍රසයේ බලය ලැබීමෙන් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය අවසන් නොවේ. ජනාධිපතිවරයාට පවතින නිශේධ බලය සහ වෙනත් විධායක බලතලද එලෙසම පවතිනු ඇත.

ජනතාවට තිබෙන ප්‍රශ්නය ඉන්ධන මිලයි!

මෙවර මැතිවරණයේ ප්‍රධානතම ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ඇමෙරිකානු ජනතාව මුහුණ දී සිටින ජීවන වියදම් අර්බුදයයි.

2024 ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ට්‍රම්ප් යොදාගත් ප්‍රධාන පොරොන්දුවක් වූයේ භාණ්ඩ හා සේවා මිල පහත හෙළීමය.

එහෙත් ඔහු බලයට පැමිණීමෙන් පසු පැනවූ ආනයන තීරුබදු සහ ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය හේතුවෙන් පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ආර්ථික පීඩනය උග්‍ර වී තිබේ.

2026 පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය ගෝලීය තෙල් සැපයුමට බරපතළ බලපෑමක් ඇති කළේය. තෙල් මිල ඉහළ යාම ඇමෙරිකාවේ පෙට්‍රල් සහ ඩීසල් මිලටද බලපෑවේය.

මෙය මෝටර් රථ හිමියන්ගේ වියදම ඉහළ යාමට පමණක් සීමා නොවේ.

භාණ්ඩ ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ සැපයුම් ජාලවල පිරිවැය ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාව මිලදී ගන්නා භාණ්ඩවල මිල කෙරෙහිද බලපෑම් එල්ල වේ.

මෙම තත්ත්වය ඇමෙරිකානු උපහාසාත්මක දේශපාලන විචාරකයන් වන ජොන් ස්ටුවර්ට් සහ ජෝන් ඔලිවර් දෙදෙනාගේ වැඩසටහන්වලදී ඉස්මතු කළ ආකාරය විශේෂය.

ජොන් ස්ටුවර්ට්ගේ The Daily Show වැඩසටහනේදී පෙන්වූ ෆොක්ස් නිව්ස් සම්මුඛ සාකච්ඡාවක, ට්‍රම්ප්ට සහයෝගය දක්වන ඡන්දදායකයෙකුගෙන් මැතිවරණයේදී වැදගත් වන කරුණු විමසා තිබුණි.

ඔහු සඳහන් කළේ ඉරාන යුද්ධයේ යම් සමනයක්, උද්ධමනය අඩුවීමක්, පොලී අනුපාත පහත යාමක් සහ සිය ට්‍රක් රථයට ඉන්ධන ලබාගැනීමේදී සහනයක් තමන් බලාපොරොත්තු වන බවය.

එහෙත් මැතිවරණ රැලිවලදී ට්‍රම්ප් මෙම ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවට වෙනත් සංස්කෘතික හා අනන්‍යතාමය ගැටලු ඉස්මතු කරන බව ස්ටුවර්ට් උපහාසයට ලක් කළේය.

එහිදී ඔහු නැඟූ ප්‍රශ්නය වූයේ ට්‍රම්ප්ගේ ප්‍රචාරක දේශපාලනය සාමාන්‍ය ජනතාවගේ සැබෑ ආර්ථික ප්‍රශ්නවලින් අවධානය වෙනතකට යොමු කරනවාද යන්නයි.

තෙල් සමාගම් ලාභ ලබද්දී ජනතාව පීඩාවට!

ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන්නද මෙවර මැතිවරණයේ ප්‍රධාන ගැටලුවකි.

මැතිවරණ රැලියකදී ට්‍රම්ප් ඇමෙරිකානු තෙල් සහ ගෑස් සමාගම් ඉතා විශාල ආදායම් උපයමින් සිටින බව ප්‍රකාශ කර තිබුණි.

මෙම ප්‍රකාශය උපුටා දක්වමින් ජොන් ස්ටුවර්ට් ප්‍රශ්න කළේ ජනතාව ඉන්ධන මිලෙන් පීඩා විඳින අවස්ථාවක තෙල් සමාගම් උපයන විශාල මුදල් ගැන ජනාධිපතිවරයා උදම් අනන්නේ ඇයිද යන්නයි.

එම ප්‍රශ්නය තුළ මෙවර මැතිවරණයේ වැදගත් දේශපාලන පරස්පරතාවක් තිබේ.

ඇමෙරිකානු ජනතාව තමන්ගේ ආදායමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටත් ඉන්ධන ලබාගැනීමටත් අරගල කරද්දී, තෙල් සමාගම් සහ ඇතැම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ට ඉහළ ලාභ හා ආදායම් ලබාගැනීමේ අවස්ථා උදාවී තිබේ.

මේ අතර ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ ව්‍යාපාරික ආදායම් පිළිබඳවද දැඩි අවධානයක් යොමුව ඇත.

ඇමෙරිකාවේ රාජ්‍ය ආචාරධර්ම කාර්යාලයට ලබාදුන් මූල්‍ය හෙළිදරව් කිරීම් ඇසුරෙන් ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත්තේ ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණීමෙන් පසු ඔහුට සම්බන්ධ ආදායම් ඩොලර් බිලියන 2.2ක් පමණ වන බවය. ඔහුගේ නම යොදාගත් ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරයද ඊට ඇතුළත්ය.

එම ආදායම් හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් දේශපාලන බලය සහ පෞද්ගලික ව්‍යාපාරික ප්‍රතිලාභ අතර ඇතිවිය හැකි ගැටුම ප්‍රශ්න කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කරමින් සිටියි.

එහෙත් ඇමෙරිකානු දේශපාලනයේ ව්‍යාපාරික මුදල්වල බලපෑම රිපබ්ලිකන් පක්ෂයට පමණක් සීමා වූවක් නොවේ. ඩිමොක්‍රටික් පක්ෂයටද ප්‍රකෝටිපති පරිත්‍යාගකරුවන් සහ විශාල ව්‍යාපාරික අරමුදල් ලැබේ.

ඒ අනුව මෙවර මැතිවරණයේදී මතුව ඇති ප්‍රශ්නය වන්නේ එක් පක්ෂයක දූෂණ චෝදනා පමණක් නොව, සමස්ත ඇමෙරිකානු දේශපාලනය තුළ ධනවත් සුළුතරයකට පවතින බලපෑමයි.

ජනතාවගෙන් සියයට 76ක් දේශපාලනඥයන් ගැන කියන්නේ මොකක්ද?

ගාඩියන් පුවත්පත වෙනුවෙන් හැරිස් මත විමසුම් ආයතනය ඔක්තෝබර් 22 සිට 24 දක්වා සිදු කළ සමීක්ෂණයකදී ඇමෙරිකානු ඡන්දදායකයන්ගේ දැඩි අතෘප්තිය හෙළි වී තිබේ.

එම සමීක්ෂණයට අනුව ඡන්දදායකයන්ගෙන් සියයට 76ක් විශ්වාස කරන්නේ මහජන නියෝජිතයන් සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් කිරීමට වඩා තමන් පොහොසත් වීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවය.

ඡන්ද තීරණය සඳහා වැදගත්ම කරුණ ලෙස සියයට 36ක් ජීවන වියදම නම් කර තිබුණි.

රජයේ දූෂණය මෙන්ම සමාගම් හා ධනවත් පරිත්‍යාගකරුවන් රජයේ ප්‍රතිපත්ති තීරණවලට කරන බලපෑමද ඡන්දදායකයන්ගේ අවධානයට ලක්ව තිබේ.

මෙවර මැදිකාලීන මැතිවරණයේ ප්‍රචාරක දැන්වීම් සඳහා පමණක් ඩොලර් බිලියන 11.2ක් පමණ වැයවී ඇති බවද ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

මෙය ඇමෙරිකානු මැදිකාලීන මැතිවරණයක ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් වැය වූ ඉහළම මුදල ලෙස වාර්තා වේ.

මැතිවරණයකදී ජනතාවගේ ඡන්ද බලය සමාන වුවද මැතිවරණ ප්‍රචාරණයට බලපෑම් කළ හැකි මූල්‍ය ශක්තිය සමාන නොවන බව මෙම සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වේ.

ඩිමොක්‍රටික් පක්ෂයට ජයගත හැකිද?

නොවැම්බර් 1 වැනිදා නිකුත් වූ නිව්යෝර්ක් ටයිම්ස් සහ සියෙනා පර්යේෂණ ආයතනයේ අවසන් මත විමසුම් අනුව තීරණාත්මක සෙනෙට් තරග හතකදීම ඩිමොක්‍රටික් අපේක්ෂකයන් සංඛ්‍යාත්මකව ඉදිරියෙන් සිටිති.

කෙසේ වෙතත් තරග කිහිපයක ඡන්ද පරතරය සමීක්ෂණවල දෝෂ සීමාව තුළ පවතින නිසා ඒවා ජයග්‍රහණ ලෙස සැලකිය නොහැකිය.

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජේම්ස් ටැලරිකෝ සියයට 50ක සහයෝගයක් ලබා සිටින අතර රිපබ්ලිකන් අපේක්ෂක කෙන් පැක්ස්ටන්ට ලැබී ඇත්තේ සියයට 43කි.

මිචිගන්හි ඩිමොක්‍රටික් අපේක්ෂක අබ්දුල් එල්-සයෙඩ් සියයට 53ක් සහ රිපබ්ලිකන් අපේක්ෂක මයික් රොජර්ස් සියයට 42ක් ලබා සිටිති.

කැන්සාස්හි ඩිමොක්‍රටික් අපේක්ෂක ඇඩම් හැමිල්ටන් සියයට 49ක්ද රිපබ්ලිකන් අපේක්ෂක රොජර් මාෂල් සියයට 44ක්ද ලබා සිටිති.

එමෙන්ම මේන්, ඔහායෝ, ඇලස්කා සහ අයෝවා ප්‍රාන්තවලද දැඩි තරගකාරී තත්ත්වයක් පවතී.

මෙම ප්‍රතිඵල සැලකිල්ලට ගත් විට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීමේ සම්භාවිතාව ඉහළ බවට විශ්ලේෂණ ඉදිරිපත් වී තිබේ.

සෙනෙට් සභාවේ බලය ලබාගැනීම ඊට වඩා දුෂ්කර වුවද එය තවදුරටත් නොහැකි ඉලක්කයක් නොවන බව පෙනේ.

ඊශ්‍රායලයට සහයෝගය දීමේ ප්‍රශ්නයෙන් ඩිමොක්‍රටික් පක්ෂය දෙකඩ වෙයි!

මෙවර මැතිවරණයේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වන්නේ මිචිගන් ප්‍රාන්තයෙනි.

එහි ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් අපේක්ෂකයා වන්නේ අබ්දුල් එල්-සයෙඩ්ය.

එල්-සයෙඩ් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ඉදිරිපත් කරන දේශපාලනඥයෙකි. සියලුදෙනාට සෞඛ්‍ය සේවා ලබාදීම, ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සහ දේශපාලනයේ මූල්‍ය බලපෑම සීමා කිරීම ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවන් වී තිබේ.

එමෙන්ම ඔහු ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාර විවේචනය කරමින් එම මුදල් ඇමෙරිකානු ජනතාවගේ අවශ්‍යතා සඳහා යෙදවිය යුතු බව පවසා තිබේ.

මෙම ස්ථාවරය ඊශ්‍රායල හිතවාදී දේශපාලන බලවේගවල විරෝධයට ලක්ව තිබේ.

විශේෂයෙන්ම ඇමෙරිකාවේ ප්‍රබල ඊශ්‍රායල හිතවාදී බලපෑම් සංවිධානයක් වන AIPAC සහ ඊට සම්බන්ධ කණ්ඩායම්, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික මැතිවරණයේදී එල්-සයෙඩ් පරාජය කර හේලි ස්ටීවන්ස් ජයග්‍රහණය කරවීම සඳහා ඩොලර් මිලියන 30ක් පමණ වැය කළ බව ගාඩියන් වාර්තා කර තිබේ.

එහෙත් එම ප්‍රයත්නය අසාර්ථක විය. ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය දිනාගත්තේ එල්-සයෙඩ්ය.

පක්ෂය තුළ පසුව ඇතිවූ ගැටුම උග්‍ර වූයේ ස්වාධීන බාහිර කණ්ඩායමක් නිකුත් කළ මැතිවරණ දැන්වීමක් හේතුවෙනි.

ඇමෙරිකාවේ ජීවන වියදම ඉහළ යාම සහ ඊශ්‍රායලයට ලබාදෙන ආධාර අතර සම්බන්ධයක් ඉස්මතු කළ එම දැන්වීමට හේලි ස්ටීවන්ස් විරෝධය පළ කළාය.

වැදගත් කරුණ වන්නේ එම දැන්වීම එල්-සයෙඩ්ගේ මැතිවරණ ව්‍යාපාරය විසින් නිර්මාණය කළ එකක් නොවීමයි. එල්-සයෙඩ්ද එහි අන්තර්ගතය ප්‍රතික්ෂේප කර තිබුණි.

එසේ තිබියදීත් ස්ටීවන්ස් සහ එල්-සයෙඩ් අතර ඇතිවූ ගැටුම අවසානයේදී ස්ටීවන්ස් ප්‍රසිද්ධියේ රිපබ්ලිකන් අපේක්ෂක මයික් රොජර්ස්ට සහයෝගය ප්‍රකාශ කිරීම දක්වා වර්ධනය විය.

ට්‍රම්ප්ගේ දේශපාලනයට විරුද්ධව සිටි ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකාවක්, තම පක්ෂයේම අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ට්‍රම්ප්ගේ අපේක්ෂකයාට සහාය දීම ඇමෙරිකානු දේශපාලනයේ දැඩි ආන්දෝලනයකට හේතු විය.

සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් නායක චක් ෂූමර් එය හැඳින්වූයේ පිළිකුල්සහගත පාවාදීමක් ලෙසය.

හිටපු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කථානායිකා නැන්සි පෙලෝසිද එය දැඩි ලෙස විවේචනය කළාය.

නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි පැවසුවේ මෙම මැතිවරණයේදී තීරණය වන්නේ වැඩකරන ජනතාවගේ ජීවිත බවත් ස්ටීවන්ස් එම ජනතාව පාවාදී ඇති බවත්ය.

අනෙක් අතට ට්‍රම්ප් ස්ටීවන්ස්ගේ තීරණය ප්‍රශංසාවට ලක් කළ අතර ඇයට රිපබ්ලිකන් පක්ෂයට එක්වන ලෙසද ආරාධනා කළේය.

එහෙත් ස්ටීවන්ස්ගේ තීරණයෙන් පසු එල්-සයෙඩ්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට එක් දිනක් තුළ ඩොලර් මිලියන 2.4කට වැඩි පරිත්‍යාග ලැබුණු බව එම ව්‍යාපාරය නිවේදනය කළේය.

මෙම සිදුවීමෙන් ඇමෙරිකානු දේශපාලනය තුළ ඊශ්‍රායලයට සහයෝගය දැක්වීම කෙතරම් ප්‍රබල දේශපාලන බෙදුම් රේඛාවක් වී ඇත්ද යන්න පැහැදිලි වේ.

පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ඩිමොක්‍රටික් පක්ෂය තුළ පවා බරපතළ දේශපාලන ගැටුම් ඇති කිරීමට හේතු වී තිබේ.

මුස්ලිම් විරෝධය සහ සංක්‍රාන්ති ලිංගික විරෝධය මැතිවරණ වේදිකාවට

මිචිගන් ප්‍රාන්තයේදී එල්-සයෙඩ්ට එරෙහිව ඉස්ලාම් භීතිකාව පදනම් කරගත් දේශපාලන ප්‍රහාරද එල්ල වී තිබේ.

ට්‍රම්ප් ඔහු ජිහාඩ්වාදී දේශපාලනය සමඟ සම්බන්ධ බවට චෝදනා කරමින් ඇමෙරිකාව ෂරියා නීතිය කරා ගෙන යාමට ඔහු උත්සාහ කරනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

එල්-සයෙඩ් සෙනෙට් සභාවට ඇතුළු වුවහොත් ඔහු ලෝහ අනාවරකයකින් පරීක්ෂා කළ යුතු බවටද ට්‍රම්ප් උපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

මෙම ප්‍රකාශය ඔහුගේ මුස්ලිම් අනන්‍යතාව ත්‍රස්තවාදය සමඟ සම්බන්ධ කරන ඉස්ලාම් භීතිකාත්මක ප්‍රහාරයක් ලෙස විවේචනයට ලක්ව ඇත.

මේ අතර රිපබ්ලිකන් හිතවාදී ප්‍රචාරක දැන්වීම්වල සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් දේශපාලන බියක් බවට පත්කිරීමට උත්සාහ කරන ආකාරයද දැකගත හැකිය.

ජෝන් ඔලිවර් සිය Last Week Tonight වැඩසටහනේදී පෙන්වා දුන්නේ රිපබ්ලිකන් ප්‍රචාරක ව්‍යාපාර රැසකදීම ඩිමොක්‍රටික් අපේක්ෂකයන් සංක්‍රාන්ති ලිංගික ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසා ඔවුන් සාමාන්‍ය ජනතාවට එරෙහි පිරිසක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කරන බවය.

කෙසේ වෙතත් ඉස්ලාම් භීතිකාව, ලිංගික අනන්‍යතාව පිළිබඳ බිය සහ වෙනත් සංස්කෘතික ගැටුම් ඉස්මතු කිරීමෙන් ඉහළ යන ජීවන වියදම සම්බන්ධයෙන් පාලක පක්ෂය මුහුණ දෙන විවේචනය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බව විරුද්ධ පාර්ශ්ව චෝදනා කරයි.

මෙය ඡන්දදායකයන්ගේ ආර්ථික අවශ්‍යතා සහ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරවල ප්‍රමුඛතා අතර පවතින වෙනසද හෙළි කරයි.

මැතිවරණ ප්‍රතිඵල ට්‍රම්ප් පිළිගනීවිද?

මෙවර මැතිවරණය වටා පවතින තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ ප්‍රතිඵල පිළිගැනීම සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාවයි.

2020 ජනාධිපතිවරණයේ පරාජය ට්‍රම්ප් විසින් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ ඉන් පසුව 2021 ජනවාරි 6 වැනිදා ඇමෙරිකානු කොංග්‍රස් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය මෙම අවධානයට ඓතිහාසික පසුබිම සපයයි.

මෙවර මැතිවරණයට පෙරත් අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රාන්ත කිහිපයක ඡන්දදායක ලැයිස්තු සහ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

කැලිෆෝනියාවේ පුරවැසිභාවය පිළිබඳ සැක මතුකරමින් ඡන්දදායකයන් 20,000කට වැඩි පිරිසකගේ තැපැල් ඡන්ද වෙනම තබන ලෙස ට්‍රම්ප් පාලනය කළ ඉල්ලීමද නොවැම්බර් 2 වැනිදා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අධිකරණ දෙපාර්තමේන්තුව තර්ක කළේ නීතිවිරෝධී ඡන්ද ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා එම පියවර අවශ්‍ය බවය. එහෙත් ප්‍රාන්ත බලධාරීන් සහ ඡන්ද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දුන්නේ එම දත්තවල දෝෂ නිසා නීත්‍යනුකූල ඡන්දදායකයන්ටද අයිතිය අහිමි විය හැකි බවය.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ෆෙඩරල් අධිකරණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂකයන් 1,000ක් පමණ යෙදවීමට සැලසුම් කර තිබේ.

ඇමෙරිකාවේ ෆෙඩරල් මැතිවරණ නිරීක්ෂණය නව ක්‍රියාවලියක් නොවුණද මෙවර එහි විශාලත්වය සහ දේශපාලන පසුබිම ඡන්දදායකයන් බියගැන්වීමේ අවදානමක් ඇති කරන බව විවේචකයන් පෙන්වා දෙති.

මේ සියල්ල මැද මැතිවරණයේ ප්‍රතිඵල පමණක් නොව එහි නීත්‍යනුකූලභාවය සහ මහජන විශ්වාසයද අභියෝගයට ලක්ව තිබේ.

මෙම මැතිවරණය ශ්‍රී ලංකාවට වැදගත් ඇයි?

ඇමෙරිකාවේ මැදිකාලීන මැතිවරණය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ අනෙකුත් රටවලටද වැදගත් ප්‍රතිවිපාක ඇති කළ හැකිය.

ට්‍රම්ප්ගේ ආනයන තීරුබදු ප්‍රතිපත්ති ජාත්‍යන්තර වෙළඳාමට බලපාන අතර ඇමෙරිකානු වෙළඳපොළට අපනයන සිදුකරන ශ්‍රී ලංකාව වැනි රටවලටද එහි බලපෑම් එල්ල විය හැකිය.

ඉරානයට එරෙහි යුද්ධය ගෝලීය බලශක්ති මිල ඉහළ යාමට හේතු වී තිබෙන බැවින් ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය කරන රටවලට එය සෘජුවම වැදගත් වේ.

ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය ලබාගතහොත් යුද්ධය, ආරක්ෂක වියදම්, ඊශ්‍රායලයට ලබාදෙන ආධාර සහ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයට එල්ල වන දේශපාලන අභියෝග වැඩි විය හැකිය. එම නිසා මේ මැතිවරණයේ ප්‍රතිිඵලය ලෝකයේම දේශපාලනයට මෙන්ම ආර්ථිකයට බලපානු ඇත.

ට්‍රම්ප් පෙනී සිටියේ කවුරුන් වෙනුවෙන්ද?

2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය යොදාගත් ප්‍රධාන පණිවිඩයක් වූයේ ඔහු සාමාන්‍ය ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවය.

එහෙත් ඔහුගේ දෙවැනි ජනාධිපති ධුර කාලයේ වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති අවස්ථාවේ එම පොරොන්දුව පිළිබඳ ප්‍රශ්න කිරීමක් මතුව තිබේ.

ට්‍රම්ප් 2024දී ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේ නම්, ඔහුගේ පාලනයෙන් සැබවින්ම ප්‍රතිලාභ ලැබුවේ කවුරුන්ද?

ඉහළ යන ඉන්ධන මිල ගෙවන ට්‍රක් රථ රියැදුරාද? භාණ්ඩ මිල ඉහළ යාමෙන් පීඩා විඳින කම්කරුවාද? සෞඛ්‍ය සේවා සඳහා වියදම් දරාගත නොහැකි පවුල්ද?

එසේත් නැත්නම් තෙල් සමාගම්, දැවැන්ත ව්‍යාපාරිකයන් සහ ධනවත් දේශපාලන පරිත්‍යාගකරුවන්ද?

ඇමෙරිකානු ජනතාව ජීවන වියදම, යුද්ධය සහ ආර්ථික අසමානතාව පිළිබඳ ප්‍රශ්න මතු කරද්දී දේශපාලන පක්ෂ ඒවාට ලබාදෙන්නේ කවර ආකාරයේ විසඳුම්ද යන්න මෙහිදී විමසීමට ලක් වේ.

Author

Leave a Reply

Related Posts