2027 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්ය ප්රතිපාදන සැකසීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූද පනත් කෙටුම්පතකි.
එසේ සඳහන් වන්නේ 2027 වර්ෂයේ අයවැයට අදාළව මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් මගින් ප්රකාශයට පත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පතේය.
එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වර්ෂයේ රජයේ වියදම හෙවත් සේවා වියදම රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අටදහසක් (රු.4,992,773,388,000) ඇස්තමේන්තු කර ඇත. එමෙන්ම එම සේවා වියදම පියවා ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 3800ක් ණය ලබාගත හැකි බවද දක්වා ඇත.
මෙම විසර්ජන පනත් කෙටුම්පතට අදාළව 2027 සඳහා වන අයවැය මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා මෙම වර්ෂයේ නොවැම්බර් 12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ නිසා විසර්ජන පනත් කෙටුම්පත අනුව වැඩිම හා අඩුම මුදල් ප්රමාණයන් වෙන්කර ඇති අමාත්යාංශ මොනවාද, ජනාධිපතිවරයා හා අගමැතිවරියට වෙන්කර ඇති මුදල් ප්රමාණයන් කොපමණද, ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්යාංශ සඳහා වෙන්කර ඇති මුදල් ප්රමාණයන් කොපමණද, ඒ අනුව මුළු අයවැයෙන් ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්යාංශවලට හා කාර්යාලයට වෙන්කර ඇති ප්රතිශතය කොපමණද, මෙම 2026 වර්ෂයට සාපේක්ෂව ලබන වර්ෂයේ අයවැය සඳහා වෙන් කිරීමවල විශේෂතා මොනවාද යන්න විමසා බැලීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරේ.
ඒ අනුව ලබන වසරේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශයට වන අතර එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 856ක් වේ. ඉන්පසු පිළිවෙලින් රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයට රුපියල් බිලියන 651ක් වෙන්කර ඇති අතර සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයට ආසන්න වශයෙන් රුපියල් බිලියන 590ක් වෙන්කර ඇත. ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශයට රුපියල් බිලියන 500ක් වෙන්කර ඇති අතර ආරක්ෂක අමාත්යාංශයට රුපියල් බිලියන 458ක් වෙන්කර ඇත. අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයට රුපියල් බිලියන 328ක් වෙන්කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්යාංශයට ආසන්න වශයෙන් රුපියල් බිලියන 230ක් වෙන්කර ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශයට රුපියල් බිලියන 208ක් වෙන්කර ඇත.
අඩුම මුදල වෙන්කර ඇත්තේ වසන්ත සමරසිංහ අමාත්ය ධුරය දරන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්යාංශයට වන අතර ඒ රුපියල් බිලියන 3.4ක මුදලකි. ඉන්පසු අඩුම මුදලක් වෙන්කර ඇත්තේ අනුර කරුණාතිලක අමාත්ය ධුරය දරන වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට වන අතර ඒ රුපියල් බිලියන 3.7ක මුදලකි. අනිල් ජයන්ත අමාත්ය ධුරය දරන කම්කරු අමාත්යාංශයට රුපියල් බිලියන 7.5ක් හා ආචාර්ය ක්රිෂාන්ත අබේසේන අමාත්ය ධුරය දරන විද්යා හා තාක්ෂණ අමාත්යාංශයට රුපියල් බිලියන 7.6ක මුදලක් වශයෙන් ඉන්පසු අඩුම මුදලක් වෙන්කර තිබේ.
ජනාධිපතිවරයාගේ කාර්යාලයට වෙන්කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 11.2කි. අගමැති කාර්යාලය සඳහා වෙන්කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියනකි.
ජනාධිපති කාර්යාලයට වෙන්කර ඇති මුදල වන රුපියල් බිලියන 11.2 කමුදලට වඩා අඩුවෙන් වසන්ත සමරසිංහ අමාත්ය ධුරය දරන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්යාංශයට, අනුර කරුණාතිලක අමාත්ය ධුරය දරන වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට හා ආචාර්ය ක්රිෂාන්ත අබේසේන අමාත්ය ධුරය දරන විද්යා හා තාක්ෂණ අමාත්යාංශයට වෙන්කර ඇති බව මේ අනුව පෙනී යයි. ඒ අනුව ජනාධිපති කාර්යාලය යනු අමාත්යාංශයකටත් වඩා වැඩි මුදලක් වෙන්කර ඇති කාර්යාලයකි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයට වෙන්කර ඇති මුදල ඇත්තේද ජනාධිපති කාර්යාලයට වෙන්කර ඇති මුදලට වඩා මදක් වැඩියෙන් වන රුපියල් බිලියන 11.7ක ප්රමාණයෙනි. එසේ වුවද ජනාධිපතිවරයා යටතේම ඇති ඩිජිටල් ආර්ථික අමාත්යාංශ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 26කි.
2027 වර්ෂයේ රජයේ මුළු සේවා වියදම වන රුපියල් බිලියන 4992 සමඟ සැසැඳූ කළ ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය, ආරක්ෂක අමාත්යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්යාංශය හා ජනාධිපති කාර්යාලය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1352ක් වන අතර එය මුළු රජයේ වියදමෙන් ආසන්න වශයෙන් සියයට 30ක ප්රතිශතයක් හිමිකර ගනී.
මේ තත්වය අප 2026 වර්ෂයේ අයවැයට අදාළ විසර්ජන පනත සමඟ සැසැඳූ කළ ලැබෙන චිත්රය මේ ආකාරයය.
මෙම 2026 වර්ෂයට අදාළ අයවැයේ රජයේ සේවා වියදම ආසන්න වශයෙන් රුපියල් බිලියන 4434ක් විය. එහිදී ජනාධිපතිවරයාගේ කාර්යාලය සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 11.3ක මුදලක් වෙන්කර තිබූ අතර ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 558ක්, ආරක්ෂක අමාත්යාංශය සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 432ක් හා ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 16ක් වෙන්කර තිබුණි.
එමෙන්ම ලබන වසරේ අයවැය වෙන්කිරීම් මෙන්ම මෙම වසරේද ජනාධිපති කාර්යාලය සඳහා වෙන්කර ඇති මුදලට වඩා අඩු මුදලක් වන රුපියල් බිලියන 4.1ක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට, රුපියල් බිලියන 4.4ක් වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්යාංශයට, රුපියල් බිලියන 6.4ක් කම්කරු අමාත්යාංශයට, රුපියල් බිලියන 9.7ක් විද්යා හා තාක්ෂණ අමාත්යාංශයට වෙන්කර තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්යාංශ හා ජනාධිපති කාර්යාලය සඳහා මෙම වසරේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 1018ක් වෙන්කර තිබුණි. එම වෙන්කිරීම් රජයේ මුළු වැයෙන් ආසන්න වශයෙන් සියයට 23ක් විය. එය ලබන වසරේ ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්යාංශ හා කාර්යාලය සඳහා වෙන්කර ඇති මුදලේ ප්රතිශතයට වඩා අඩුය. එහි තේරුම වන්නේ ලබන 2027 වසරේදී ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්යාංශ හා කාර්යාලය සඳහා මෙම වසරට වඩා වැඩි මුදල් ප්රතිශතයක් වෙන්කර ඇති බවයි. එය සියයට 23 සිට සියයට 30 දක්වා සියයට 7කින් වැඩි වී ඇති බවයි.
