දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක මිස ඔහු හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ හෝ වෙනත් ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බව සභානායක ඇමති බිමල් රත්නායක අද (ඔක්තෝබර් 22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇමති බිමල් රත්නායක එසේ පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමිනි.
හර්ෂ ද සිල්වා මන්ත්රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කරන හෙයින් මාලිමා ආණ්ඩුවද රනිල් වික්රමසිංහගේ ආර්ථික දැක්ම අනුගමනය කරමින් සිටින බවයි.
සිය ප්රතිචාරය දක්වමින් ඇමති බිමල් රත්නායක වැඩිදුරටත් පැවසුවේ දුමින්ද හුලංගමුව මහතා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී පසුගිය ආණ්ඩුවල විසින් පත්කළ විවිධ කමිටුවල සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති බව හා කිසිඳු ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බවයි. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කළේ සාගල රත්නායක මහතා බවයි.
