අධිකරණය ලබාදුන් නියෝග ක්රියාත්මක නොකර උසාවිය රැවටීමට උත්සාහ දැරීමෙන් පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා අධිකරණයට අපහාස කර ඇතැයි ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අද (21) තීරණය කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීම සඳහා අදාළ නඩු ලිපිගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට මහේස්ත්රාත්වරයා පියවර ගනු ලැබුවා.
මීට අමතරව මත්ද්රව්ය ළඟ තබාගත් බවට පවසමින් ගම්පහ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පුරවැසියෙකුට එරෙහිව ගොතන ලද අසත්ය කරුණු මත පවරා තිබූ අංක 1743 සහ 1744 දරන නඩු ලිපිගොනු ද්විත්වයද වහාම අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස මහේස්ත්රාත්වරයා අධිකරණ රෙජිස්ට්රාර්වරියට නියෝග කළා.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරීන් වන පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා සහ ප්රධාන පොලිස් පරීක්ෂක ප්රණීත ජයවර්ධන යන මහත්වරුන් විසින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පොලිස්පතිවරයා නිකුත් කළ යුතු චක්රලේඛය වෙනුවට බස්නාහිර පළාත උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් ගම්පහ කැලබුවා.
එම ලේඛනය පරීක්ෂා කළ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා, “මේක මාව අන්දවන්න කරන දෙයක්“ යනුවෙන් විවෘත අධිකරණයේදී ප්රකාශ කරමින් පොලිස් නීති නිලධාරීන්ගෙන් මෙලෙස ප්රශ්න කළා.
- මහේස්ත්රාත්වරයා: මං නියෝග දීලා තියෙන්නේ කාට ද?
- ප්රධාන පොලිස් පරීක්ෂකවරයා: පොලිස්පතිවරයාට.
- මහේස්ත්රාත්වරයා: එතකොට මේ ලියුම කාගේ ද?
- ප්රධාන පොලිස් පරීක්ෂකවරයා: බස්නාහිර පළාත උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයාගේ.
- මහේස්ත්රාත්වරයා: මේක හරියට බල්ලගේ වැඩේ බූරුවාට භාර දීමක් වගේ. මුළු ලංකාවේ ම ඉන්න සියලු ම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන්න කීවා ම, පළාතෙන් පළාතේ ඉන්න පොලිස් නිලධාරීන්ට වෙන වෙන ම උපදෙස් පත්රිකා නිකුත් කළා ම හරි යනවා ද? මේ සිද්ධිය ම වෙන පළාතක සිද්ධ වුණොත් ඒ පළාතේ ඉන්න පොලිස් නිලධාරියාට වෙන ම උපදෙස් පත්රිකාවක් නිකුත් කරනව ද?
- ප්රධාන පොලිස් පරීක්ෂකවරයා: වැටලීම් සම්බන්ධයෙන් ශ්රී ලංකාව ම ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කිරීම සඳහා බස්නාහිර පළාත භාර නියෝජ්ය පොලිස්පතිවරයා සමග දීර්ඝ සාකච්ඡාවක් කළා.
- මහේස්ත්රාත්වරයා: රෑට හීනෙන් දකින දේවල්වලට පහුවෙනිදා උදේ චක්රලේඛ නිකුත් කරන රටේ මේ වගේ දේකට අදාළව චක්රලේඛයක් නිකුත් කරන්නයි කියලා අධිකරණයෙන් නියෝගයක් දුන්නා ම තමයි ඒක කරන්න බැරි. උසාවි නියෝගයකටත් පොලිසිය සලකන්නේ මෙහෙම නම්, රටේ අනිත් දේවල් ගැන කවර කතා ද? යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසුවත් කරන්නේ මේ ටික ම තමයි. පාර්ශවකරුවන්ට නඩුව එපා වෙනකල් අදිනවා. සාක්ෂිකාරයන්ට සිද්ධිය අමතක වෙනකල් නඩු පවරන්නේ නැතුව කල් අදිනවා. පොලිසිය උසාවියට දක්වන සැලකිල්ලේ තරම කොච්චර ද කියල මේ ලිපියෙන් ම පේනවා.
පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිසමට මේ පිළිබඳව කොතෙක් දැනුම් දුන්නද කිසිදු ඵලක් නොවන බවත් අදාළ චක්රලේඛය නිකුත් කිරීමට මාස පහකට ආසන්න කාලයක් ලබාදී තිබියදීත් නියෝගය ඉටුකිරීම පසෙක තබා පොලිසිය අධිකරණය මුලා කිරීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා, පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ආරම්භ කරන ලෙස නියෝග කළා.
ගම්පහ, දෙවලපොළ, මාකන්දන ප්රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැති පුරවැසියාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන අංශය විසින් පවරන ලද පදනම් විරහිත නඩු ද්විත්වක් මෙම නඩු තීන්දුවට පසුබිම් වි තිබුණා.
2026 මැයි 06 වන දින හෝ ඊට ආසන්න දිනයකදී ගම්පහ අස්ගිරිය හන්දියේදී අයිස් මිලිග්රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්රෑම් 500ක් සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් විසින් අදාළ පුද්ගලයාට එරෙහිව නඩුවක් ගොනු කර තිබූ අතර එහි සාක්ෂිකරුවන් ලෙස පොලිස් සැරයන් සෙනවිරත්න සහ කොස්තාපල් දිල්ෂාන් යන අය නම් කර තිබුණා.
එම නඩුව කැඳවූ අවස්ථාවේදී චාමර චතුරංග නමැත්තා චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට අධිකරණයෙන් දඩයක් නියම වුණා.
නමුත් ඊට සුළු මොහොතකට පසුව එම පුද්ගලයාටම එරෙහිව මත්ද්රව්ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් වෙනම නඩුවක් කැඳවනු ලැබුවා.
එකම පුද්ගලයෙකුට එරෙහිව එකම දිනයේදී මෙලෙස වෙන වෙනම නඩු දෙකක් පැවරීම නිරීක්ෂණය කළ මහේස්ත්රාත්වරයා, පුරවැසියන්ට මෙලෙස පීඩාකාරී හා අසාධාරණ ලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්රහයේ 17(1) වගන්තිය යටතේ ක්රියාමාර්ග නොගත යුත්තේ මන්දැයි ප්රශ්න කිරීම සඳහා අදාළ සාක්ෂිකාර පොලිස් නිලධාරීන්ට හා උසස් නිලධාරීන්ට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළද ඔවුහු කිසිවෙක් අධිකරණයට පැමිණ නොතිබුණි.
පසුව නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් ගයාන් කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදී මෙම විත්තිකරු සමඟ තවත් පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බැවින් චෝදනා වැරදි සහගත ලෙස ගොනු වී ඇති බවත් ඒ අනුව 1743 දරන නඩුව ඉල්ලා අස්කරගෙන 1744 දරන නඩුව පමණක් පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසයි.
නමුත් එම ඉල්ලීම තරයේ ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා, පොලිසිය වැටලීම් සිදුකළ යුත්තේ සාක්ෂි සහිතව පුද්ගලයන් වරදකරුවන් කිරීමට මිස මෙලෙස පොලිස් නිලධාරීන් තිදෙනෙකුම සාක්ෂිකරුවන් ලෙස යොදවා අහිංසකයන් හිතාමතා වරදකරුවන් කිරීමේ චේතනාවෙන් නොවන බව පෙන්වාදුන්නා.
පොලිස් දෙපාර්තමේන්තුවේ වැරදි සහගත ක්රියාකලාපය දීර්ඝ ලෙස විවේචනය කළ මහේස්ත්රාත්වරයා, මත්ද්රව්ය වැටලීම් වැඩි කිරීමට උපදෙස් දී ඇතත් ඒවා ක්රියාත්මක වන්නේ අතිශය අවිධිමත් ආකාරයෙන් බව පෙන්වාදුන්නා.
එක් මාසයක පවරන නඩු ප්රමාණයට වඩා වැඩි නඩු ප්රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු යැයි ඉහළ නිලධාරීන් අණ කරමින් නිලධාරීන්ගේ ප්රගතිය මැනීමට උත්සාහ කළද එය කිසිසේත්ම ප්රගතියක් නොවන බව මහේස්ත්රාත්වරයා පෙන්වාදුන්නා.
සැබවින්ම කාර්යක්ෂම පොලිස් සේවයක් පවතින්නේ නම් මාසයෙන් මාසය අපරාධ හා නඩු ප්රමාණය අඩුවිය යුතු බවත්ය ම් ප්රදේශයක නඩු ප්රමාණය වැඩිවීම යනු එම ප්රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාව ප්රදර්ශනය කිරීමක් බවත් පෙන්වා දුන් විනිසුරුවරයා, මෙම ටාගට් ක්රමයට නඩු දැමීමට ගියහොත් තවත් වසර පහක් යන විට නඩු පැවරීමට ලංකාවේ ජනගහනය පවා මදිවනු ඇතැයි ප්රකාශ කළා.
එමෙන්ම පොලිසිය ඉදිරිපත් කරන මත්ද්රව්ය ප්රමාණවලට වඩා ඉතාම අඩු ප්රමාණයක් හෝ කිසිදු මත්ද්රව්යයක් අඩංගු නොවන බවට රජයේ රස පරීක්ෂක වාර්තාවලින් නිරන්තරයෙන් හෙළිවන බවත් අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්රමයක් ලෙස අන්තරාදායක ඖෂධ පනතේ 54 වැනි වගන්තිය අවභාවිත කිරීමට පොලිසිය කටයුතු කරන බවත් පැවසූ මහේස්ත්රාත්වරයා, මෙහි අවසන් ප්රතිඵලය වී ඇත්තේ පොලිසිය කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය මුළුමනින්ම පළුදු වීම බව සඳහන් කළා.
මේ පිළිබඳව කරුණු විමසීමට ගම්පහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැඳවුවද ඔහුද අධිකරණය මඟහැරීමෙන් අධිකරණය කෙරෙහි ඇති නොසැලකිල්ල මනාව පැහැදිලි වන බවද පැවසුවා.
චාමර චතුරංග මාරසිංහ නමැති විත්තිකරුට මෙලෙස අසාධාරණ ලෙස නඩු පැවරීම වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්රහයේ 17(1) වගන්තිය ප්රකාරව වැටලීම කළ බව කියන සාක්ෂිකාර පොලිස් නිලධාරීන් තිදෙනා විසින් විත්තිකරුට රුපියල් 25,000 බැගින් පෞද්ගලිකව වන්දි ගෙවිය යුතු බවට නියම කළා.
එමෙන්ම අන්තරාදායක ඖෂධ පනත යටතේ අයකරගන්නා දඩ මුදල්වලින් විශාල ප්රමාණයක් පොලිස් ත්යාග අරමුදලට බැර වන බැවින්මෙ වැනි අසත්ය නඩු පැවරීම්වලදී එම අරමුදල භාවිත කළ යුතු බවට තීරණය කළ අධිකරණය, පවරා තිබූ නිස්සාර නඩු දෙක වෙනුවෙන් රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක මුදලක් විත්තිකරුට වන්දි වශයෙන් ගෙවන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.
මෙහිදී මෙම නිලධාරීන් මෙහෙයවා ඇති ඉහළ නිලධාරීන් වගකීමට යටත් නොකර මෙම පහළ නිලධාරීන්ට පමණක් විනය ක්රියාමාර්ග නොගත යුතු බවටද මහේස්ත්රාත්වරයා නියෝග කළා.
අහිංසක පුරවැසියන්ට මෙලෙස අසත්ය නඩු පැවරීම වහාම වළක්වන ලෙස සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර මාස පහකට අධික කාලයක් ලබාදී අවස්ථා දෙකකදී කල් ලබාදී තිබියදීත් අද දින ඉදිරිපත් කළ නියෝජ්ය පොලිස්පතිවරයාගේ ප්රාදේශීය උපදෙස් පත්රිකාව මඟින් පොලිස්පතිවරයා අධිකරණය ඇන්දවීමට උත්සාහ කර ඇති බව නිගමනය කළ මහේස්ත්රාත්වරයා, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත නඩු ලිපිගොනු යොමු කිරීමට තීන්දු කළා.
