ඥානසාරගේ චීවරය ගැළවීමේ තීරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම නොවැම්බර් 18 ට කල් යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සලකා බැලීම එළඹෙන නොවැම්බර් මස 18 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දින මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් පිරිසක් විසින් මෙම රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර, මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද මේ හා සමාන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනුකර ඇත.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යවරයා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුදුදහම සුරැකීමට සහ පෝෂණය කිරීමට රජය බැඳී සිටින පසුබිමක, ඥානසාරගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති පියවර බන්ධනාගාර රෙගුලාසි මෙන්ම සාංඝික විනය නීතිවලට ද පටහැනි වන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. එමෙන්ම එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද පෙත්සම්කරුවන් වැඩිදුරටත් තර්ක කර සිටී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading